සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වන දිනය අදයි

සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වන දිනය අද යි

by Staff writer 04-10-2018 | 8:43 AM

COLOMBO (News 1st) - සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වැනි දිනටත් අද පැවැත්වේ.

මේ වන විට පිහිටුවා ඇති මුළු තරගාවලි වාර්තා ගණන 30 කි. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලිය පසුගිය සඳුදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහි තෙවැනි දිනය වූ ඊයේ බාලක අංශයෙන් නව තරගාවලි වාර්තා 12 ක් බිහිවීම විශේෂත්වයකි. වයස අවුරුදු 16 න් පහළ මීටර් 200 බාලක ඉසව්වට තරග කළ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලියේ හිරූෂ හෂාන් තත්පර 22 යි දශම 5 යි 3 ක දක්ෂතාවක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවේය. එම වයස් කාණ්ඩයේ දුර පැනීම ඉසව්වට එක් වූ ඔහු එහිදී නව තරගාවලි වාර්තාවක් පිහිටුවූයේ මීටර 7යි දශම 0යි 4ක දක්ෂතාවක් දක්වමිනි. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙශාන් කාරියවසම් වයස අවුරුදු 20 න් පහළ මීටර 110 කඩුලු මතින් දිවීම බාලක ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවේ ය. ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 14යි දශම 2යි 1කි. මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ නදුන් බණ්ඩාර මීටර 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවුයේ තත්පර 13යි දශම 3යි 2ක් සටහන් කරමිනි. බාලිකා අංශයේ නව තරගාවලි වාර්තා 4 ක් ඊයේ දිනයේ වාර්තා විය. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශනෙලා සෙනෙවිරත්න වයස අවුරුදු 14 න් පහළ මීටර සියය බාලිකා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවූයේ තත්පර 12යි දශම 8යි 4ක කාලයක් සටහන් කරමිනි. මේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ කවිදි සන්ජනී එදිරිසිංහ වයස අවුරුදු 16 න් පහළ මීටර 400 බාලිකා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිට විය. ඇය දැක්වූ දක්ෂතාව තත්පර 56යි දශම 9යි 1 ක්. මේ අතර වයස අවුරුදු 18 න් පහළ මීටර සියය කඩුලු මතින් දිවීම බාලිකා ඉසව්වේ තත්පර 14යි දශම 7ක දක්ෂතාවක් දැක්වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කේ.එච්.ඒ.ඩී කෞශල්‍යා එහි නව තරගාවලි වාර්තාවක් පිහිට විය.