ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රීඩකයින්ගේ සුහද හමුව

ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ සුහද හමුව

by Staff writer 03-10-2018 | 1:33 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දෙපිළේම ක්‍රීඩකයින් සහභාගී වූ සුහද හමුවක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළැඹෙන 10 වන දා ආරම්භ වේ. ඊට එක්දින තරග 5ක් පන්දුවාර 20යි 20 තරගයක් හා ටෙස්ට් තරග 3ක් ඇතුළත් ය. තරගාවලිය සඳහා සහභාගී වන දෙපිළේම ක්‍රීඩකයෝ ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති මෙම සුහද හමුවට සහභාගී වූහ. වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන හා 1996 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් අර්ජුන රණතුංග මහතා ද මෙම සුහද හමුවට එක්ව සිටියහ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද මෙම සුහද හමුවට සහභාගී විය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මෙතෙක් එක්දින ක්‍රිකට් තරගාවලි 11ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 4කම ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි. එංගලන්ත කණ්ඩායමට එම තරගාවලි 11 අතුරින් ජය ගැනීමට හැකි වී ඇත්තේ තරගාවලි 6ක් පමණි. එක් තරගාවලියක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වී තිබේ. දෙරට අතර මෙතෙක් එක්දින ක්‍රිකට් තරග 71ක් පවත්වා ඇති අතර ඉන් තරග 34 කගේ ජයග්‍රහණය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ය. එංගලන්ත කණ්ඩායම තරග 33ක් ජය ගෙන තිබේ. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වී ඇති අතර තරග 3ක් අවසන් වූයේ විසඳුමකින් තොරව ය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අවසන් වරට එක්දින ක්‍රිකට් තරගයකදී එකිනෙකා මුණ ගැසී ඇත්තේ, 2016 වසරේ ජුලි මස 02 වන දා එංගලන්තයේ කාර්ඩිෆ්හිදී ය. එම තරගය එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 122කින් ජය ගත්හ. එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක්දින ක්‍රිකට් තරගයක් ජය ගත්තේ 2015 වසරේ මාර්තු මස පළමු වන දා ය. නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී පැවැති එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජය ගත්තේ කඩුලු 9කිනි. එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ 2014 - 2015 වර්ෂයේදී ය. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති තරග 7කින් යුත් එම තරගාවලිය එක්දින තරග 5 ට 2 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය. මෙවර තරගාවලියේ නිල රූපවාහිනී විකාශන කටයුතු සිදු කරන්නේ සිරස ටී.වී සහ TV 1 ප්‍රමුඛ MTV මාධ්‍ය ජාලයයි.