ඉල්ලා අස්වීමේ ලිපිය මැතිව්ස් භාරදෙයි..

නායකත්වයෙන් ඉල්ලා අස්වෙන ලෙස මැතිව්ස්ට බලපෑම් - ඉල්ලා අස්වීමේ ලිපිය මැතිව්ස් භාරදෙයි

by Staff writer 24-09-2018 | 9:29 PM

COLOMBO (News 1st) - එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ අතර ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු දැනුම්දීමකට අනුව තමා නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ය. මැතිව්ස් ලිපියක් මාර්ගයෙන් තම ඉල්ලා අස්වීම දැනුම් දී තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී ලැබු පරාජය සැළකිල්ලට ගෙන නායකත්වයෙන් ඉවත් වන ලෙස ක්‍රිකට් බලධාරීන් සිදු කළ ඉල්ලීම පරිදි තමා නායකත්වයෙන් ඉවත් වන බව ඇන්ජලෝ මැතිව්ස් අදාළ ලිපියෙන් දක්වා තිබුණි. ආසියානු කුසලාන තරග මාලාව තුළ ලැබූ පරාජයේ සමස්ත වගකීම ලෙස අවසානයේදී තමාට භාර ගැනීමට සිදු වී ඇතැයි ඔහු පවසා තිබේ. තරගයකදී ගන්නා සියලු තීරණ තමාගේ නොවන බවත් ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටුව මෙන් ම කණ්ඩායමේ සාමුහික තීරණ බවත් ඇන්ජලෝ මැතිව්ස් මෙම ලිපිය මගින් පෙන්වා දුනි. සෑම පරාජයකම වගකීම නායකයාගේ කර මත පැටවීම පිළිබඳ තමා එකඟ නොවූව ද ප්‍රධාන පුහුණුකරුගේ සහ තේරීම් කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම් මත නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බවට මැතිව්ස් පැවසීය. එංගලන්තයට එරෙහි තරගාවලි ජයග්‍රහණය, ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ සමස්ත තරගාවලි ජයග්‍රහණයත් 2014 ආසියානු කුසලානය ජය ගැනීම සිය නායකත්ව වගකීමේ සුවිශේෂී මතකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී සඳහන් කර තිබුණි. 2017 වසරේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී ලසිත් මාලිංග, චාමර කපුගෙදර, තිසර පෙරේරා, උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වුව ද ඔවුන්ට නායකයින් ලෙස ස්ථාවර තත්ත්වයකට පත් වීමට නොහැකි වූ බව මැතිව්ස් පෙන්වා දුනි. මේ අතර එම ලිපියෙන් මැතිව්ස් අවධාරණය කරන්නේ, නායකයෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමේ කැමැත්තක් තමාට නොතිබූ බවයි. කෙසේ නමුත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වීමෙන් අනතුරුව ඔහු ඉදිරිපත් කළ 2019 ලෝක කුසලාන තරගාවලි සැළැස්මට අනුව සිය මව්බිම කෙරෙහි තමන් සතු වගකීම ගැන සිතා බලා තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමා භාර ගත් බවට මැතිව්ස් පවසයි. ආසියාන කුසලාන තරගාවලිය පරාජය වුව ද දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය සාධනීය මට්ටමකින් අවසන් කර ගැනීම හැකි වූ බව පවසන මැතිව්ස් ලෝක කුසලානයට ආසන්නව තිබියදී මෙම තත්ත්වයෙන් පළා යාමට කිසිදු උවමනාවක් තමන්ට නොවු බව ද මෙම ලිපියේ සඳහන් කෙරිණි. තේරීම් කමිටුව තමාගෙන් කළ ඉල්ලීම අනුව යමින් තමා නායකත්වයෙන් ඉවත්වීමට කටයුතු කරන බවත්, එම තීරණය ගැනීමට තමාට ඉඩ සැළසීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් ලිපිය මගින් කරුණු දක්වන ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සුබ පැතුම් එක් කොට තිබේ. මේ අතර අද පැවැති ප්‍රජා වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදහස් පළ කළේ ය.