දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

by Staff writer 14-08-2018 | 10:31 PM
COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක ජයක් අද වාර්තා කළේ ය. ලකුණු 99ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ජේ.පී. ඩුමිනි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ක්වින්ටන් ඩී. කොක් සහ හෂීම් අම්ලා යි. කිසිදු ලකුණක් රැස් කිරීමට පෙර අම්ලා පිටියෙන් ඉවත් වුණේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ය. ක්වින්ටන් ඩී. කොක් ලකුණු 20කට දැවී ගියේ ය. රීසා හෙන්ඩ්‍රිකස් ලකුණු 19යි. ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 69ක් තුළ බිඳ වැටිණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අභියස පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 5 සීමාව පසු කිරීමට නොහැකි විය. ලක්ෂාන් සඳකැන් ලකුණු 19ට කඩුලු 3යි. අකිල ධනංජය ලකුණු 15ට කඩුලු 2ක් දවා ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 98කි. එය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20යි 20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි. කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය. කුසල් මෙන්ඩිස්ට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් තුන්වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ගොඩනැගීය. ධනංජය පන්දු 26කින් ලකුනු 31යි. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 36යි.