දියවන්නාවට පෙරළුණු BMW මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ්

දියවන්නාවට පෙරළුණු BMW මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ්

by Staff writer 20-03-2018 | 1:09 PM
COLOMBO (Newsfirst) - තලවතුගොඩදී දියවන්නා ඔයට පෙරළුණු BMW i8 මෝටර් රථයේ හිමිකාර ෆසීල් මොහොමඩ් හුසේන් මහතා ලබන 27 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ඊයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් ඔහු තලංගම පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් අනතුරුව අද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. ෆසීල් මොහොමඩ් හුසේන් මහතා මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සුඛෝපභෝගී මෝටර් රථය මේ වන විට තලංගම පොලීසිය භාරයේ ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, එම රථයේ ලියාපදිංචි අයිතිකරු විසින් ම අනතුරට පත් වන අවස්ථාවේදී රථය පදවා ඇති බව ය. ඒ බව සිදු කළ විමර්ශනවලදී සටහන් කර ගත් ප්‍රකාශ සහ CCTV දර්ශනවලින් තහවුරු වී ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.