එයාර්බස් අල්ලස් හෙළිකළ විශේෂඥවරිය සාක්ෂිදීමට මෙරටට

එයාර්බස් ගෝලීය අල්ලස් ජාලය හෙළි කළ විමර්ශන විශේෂඥවරිය නාමල්ගේ නඩුවේ සාක්ෂි දීමට ශ්‍රී ලංකාවට

by Janitha Mendis 27-11-2026 | 11:30 AM

COLOMBO(News1st) - එයාර්බස් සමාගම සම්බන්ධයෙන් ලොව පුරා සිදුකළ දැවැන්ත අල්ලස් හා දූෂණ විමර්ශනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් ප්‍රංශ ජාතික අධිකරණ ගිණුම් විමර්ශන විශේෂඥවරියක, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

යූස්ර් ඛලීල් (Yousr Khalil) නම් ඇය, Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කාරිනියක වන අතර එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

අදාළ නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් අතර ඇය ද සිටින බව වාර්තා වේ.

එයාර්බස් සමාගම සම්බන්ධයෙන් වසර හතරකට ආසන්න කාලයක් පුරා රටවල් කිහිපයක ගුවන් යානා අලෙවි ගනුදෙනු ආශ්‍රිතව සිදුකළ ජාත්‍යන්තර විමර්ශනයේදී යූස්ර් ඛලීල් මහත්මිය ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබේ.

ඇය සමග එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසී (Karl Hennessee) ද මෙම නඩුවේ තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහයෝගයෙන් සිදුකළ එම විමර්ශනයේදී ගුවන් යානා අලෙවි ගනුදෙනු සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රියාත්මක වූ බව කියන නීතිවිරෝධී මුදල් ගෙවීම් ජාලයක් අනාවරණය කරගෙන තිබේ. 

ශ්‍රී ලංකාවට අදාළ එයාර්බස් ගනුදෙනුව 

එම ජාත්‍යන්තර විමර්ශනයේ ශ්‍රී ලංකාවට අදාළ කොටස කේන්ද්‍රගත වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුවක් සම්බන්ධයෙනි.

එම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා ඇමරිකානු ඩොලර් මිලියන 16ක කොමිස් මුදලක් ලබාගැනීමේ එකඟතාවකට පැමිණි බවට විමර්ශකයින් චෝදනා කර තිබේ.

එම ගනුදෙනුවට සම්බන්ධ බව කියන අල්ලස් මුදල්වලින් ලැබුණු ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ද අධිචෝදනා පත්‍රයේ චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ මෙතෙක් අවසන් තීන්දුවක් ලබා දී නොමැත.