කාවන්තිස්සට වෙඩි තැබු සැකකරු ගැන අනාවරණයක්...

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ඇහැටුවැව නිපුණතා සංවර්ධන නිලධාරියෙක් - පොලීසිය

by Staff writer 19-10-2026 | 8:07 AM

COLOMBO(News1st) - කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක් හා උණ්ඩ 24ක් සොයාගෙන ඇති බවයි.

මිගලෑව ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකය හා වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමේදී ඊයේ(18) පස්වරුවේ සැකකරුව අත්අඩගුවට ගත් අතර ඔහු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කාවන්තිස්ස ඇතා වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ විමර්ශන සඳහා නිලධාරින් කණ්ඩායමක් උස්ගල, සියඹලාන්ගමුව ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා පරිසර අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලීසියට පැමිණිලි කරනු ලැබුහ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ,  ආරක්ෂක අමාත්‍යංශයේ සහයත් ඒ සඳහා ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

සාමාජ මාධ්‍ය තුළ අවධානය දිනාගත් කාවන්තිස්ස, මෙරට ස්වභාවික පරිසරයේ හමුවූ විශාලතම සහ උසම වන අලියෙකු ලෙස සැලකේ

කාවන්තිස්සගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී තිබුණේ පහුගිය සැප්තැම්බර් 23 වැනිදායි.

පසුගිය සිකුරාදා කාවන්තිස්ස මියගොස් සිටියදී  සොයා ගනු ලැබුවේ, මීගලෑව වන ජීවී කාර්යාලයට අයත් උස්ගල සියඹලාන්ගමුව යාය 03 ප්‍රදේශයේ වෙල් යායකින් ය.

මියගිය කාවන්තිස්ස ඇතාගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු පෙරේදා(17) පස්වරුවේ සිදුකෙරුණි.

මරණයට හේතුව අනාවරණය කර ගැනීමට, ඇතාගේ දේහයේ කොටස්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් වෙත යොමුකර තිබේ.