අග්බෝ සොයා හමුදා බලඇණියක් අඛණ්ඩ මෙහෙයුමක...

අග්බෝ ඇතා සොයා යුද හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බලඇණියක් අඛණ්ඩ මෙහෙයුමක - ආරක්ෂක අමාත්‍යංශය

by Staff writer 19-10-2026 | 8:18 AM

COLOMBO(News1st) - අනුරාධපුර, තිරප්පනේ වනගත භූමියේ අග්බෝ වන අලියා සොයා යුද හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බලඇණියක් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අග්බෝ වන අලියා සෙවීමේ මෙහෙයුම සඳහා යුද හමුදාව විශේෂ කණ්ඩායමක් යොදවනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ නියෝග මතයි.

ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කර තිබුණි.

අග්බෝ වන අලියා සෙවීමේ මෙහෙයුම සඳහා වනජීවි නිලධාරින්ද එක්ව සිටියි.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, අග්බෝ වන අලියා කඩිනමින් සොයාගෙන එම සත්වයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා කණ්ඩායමක් වහාම යෙදවීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි.


මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්‍රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු සෙබළුන් ඊයේ(18) දිනයේදී එහෙයිය වැවෙන් මහකනදරාවට ජලය ගෙනයන ඇලේ දකුණු ඉවුර ආශ්‍රිතව අග්බෝ ඇතා සොයා මෙහෙයුම් දියත් කර තිබුණි.

පරිසර අමාත්‍යංශය පැවසුවේ, එහිදී අග්බෝ ඇතාගේ පෙනුමට සමාන ඇතෙකු සහ අලි රංචුවක් නිරීක්ෂණය වී ඇති බවත් එම සතුන් අතර අග්බෝ ඇතා සිටින්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් එම රංචුව දෙසට ගමන් කිරීමේදී, දළ ඇතා ද සහිත එම අලි රංචුව ඝන කැලෑ ප්‍රදේශයකට ඇතුළු වී ඇති බවයි.

තවත් කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෝඩමඩුව ප්‍රදේශයේ ගොවි මහතෙකු අග්බෝ ඇතා දැක ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ ඇතා තම පැල අසලින් නාච්චාදූව වැව දෙසට ගමන් කර ඇති බවයි.