බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට පහර දෙන්න ආ 5ක් අල්ලයි

බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බව කියන 5 දෙනෙකු අත්අඩංගුවට...

by Staff writer 28-09-2026 | 10:45 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරිදා අලුයම් කාලයේදී "ෆෙයාර්ෆර්ඩ්" රාජකීය ගුවන් හමුදා කඳවුරට දෙසට සැකකටයුතු ලෙස වෑන් රථ තුනක් ධාවනය කෙරෙන බවට ප්‍රදේශවාසියෙකු එරට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් පස් දෙනෙකු අදාළ කඳවුරට මීටර 350ක පමණ දුරකදී බ්‍රිතාන්‍යයේ පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

පසුව ඔවුන්ට එරෙහි චෝදනා ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා සූදානම් වීම ලෙස සංශෝධනය කළ බවත් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍යයට නිකුත් කර නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 70ක පමණ සිට අදාළ බ්‍රිතාන්‍ය හමුදා කඳවුර ඇමරිකාව සමග ඒකාබද්ධව පාලනය කෙරෙන බවයි.

ඇමරිකානු ගුවන් හමුදාවේ 501 වැනි සටන් ආධාරක බලගණය සහ 420 වැනි ගුවන් බලගණය අදාළ බ්‍රිතාන්‍ය කඳවුරේ සිට ක්‍රියාත්මක බව බවත් විදෙස් වාර්තාවල සඳහන්.

ඇමරිකාව පසුගිය පෙබරවාරි මාසයේ ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කළ සමයේදී ඉරානයට පහරදුන් ඇතැම් ප්‍රහාරක ජෙට් යානා අදාළ බ්‍රිතාන්‍ය කඳවුරේ සිට පිටව ගොස් ඇති බවටද වාර්තාවේ.

කඳවුර අවට ජීවත් වූ ජනතාව ප්‍රදේශයෙන් තාවකාලිකව ඉවත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

සිදුවීම සම්බන්ධයෙන් තමන් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් වෙස් ස්ට්‍රීටින් සඳහන් කළේ ය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳවුරට විශාල හානියක් කිරීමට අපේක්ෂාව සිට ඇති බවයි.

ඇමරිකාව කලක සිට ඔවුන් නිරීක්ෂණය කළ බවත්, දැන් ඔවුන් අල්ලා ගැනීමට හැකි වූ බවත් ට්‍රම්ප් පවසයි.

කෙසේ නමුත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ බුද්ධි තොරතුරක් උපකාරී වූයේ දැයි බ්‍රිතාන්‍ය බලධාරීන් නිවේදනය කර නොමැත.