බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට වැසි

by Staff writer 27-09-2026 | 7:38 AM

COLOMBO(News1st) - නිල්වලා, ගිං ගංඟා සඳහා නිකුත් කළ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිං ගග බද්දේගම ප්‍රදේශයෙන් , නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් සහ කළු ගගේ අතු ගංගාවක් වන කුඩා ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර , මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත , පස්බාගේ කෝරලය , දොළුව සහ ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර හා බටහිර , අඹගමුව සහ නෝවුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් නාය යෑම් පිළිබද ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කෙරිණ.

මීට අමතරව ගාල්ල , මහනුවර , කෑගල්ල , නුවරඑළිය , රත්නපුර , කොළඹ , කළුතර , මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට දෙවන හා පළමු අදියරේ නාය යෑම් නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ය.