අද කාලගුණ තත්ත්වය

අද කාලගුණ තත්ත්වය

by Staff writer 25-09-2026 | 8:12 AM

COLOMBO(News1st) - පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ, කළු, ගිං සහ නිල්වලා ගංඟා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතී.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ මිල්ලකන්ද ප්‍රදේශයෙන්.

රත්නපුර සහ මඟුර ප්‍රදේශවලින් ද කළු ගඟ ගංවතුර අවදානම් මට්ටමේ පවතී.

ගිං ගඟ, සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇත්තේ බද්දේගම ප්‍රදේශයෙන්.

ගිං ගඟ, තවලම ප්‍රදේශයෙන් ද ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පානදුගමින් ​සහ තල්ගහගොඩින් නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී.

ඒ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.

---

මේ අතර, අධික වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, තවලම, නාගොඩ හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කළ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ උඩපළාත, ගඟඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ සහ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කෙරුණි.

ඊට අමතරව ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල, කළුතර, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අදියර එක සහ දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

---

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ධ්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිම් කලාපයට ඇතුළු වී තිබේ.

ඒ හේතුවෙන් මෙරට කාලගුණ තත්ත්වයට ඉන් සිදුවූ බලපෑම අද සිට ක්‍රමයෙන් අඩු වනු ඇති.

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා ඉහළ යා හැකියි.

එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද මිලිමීටර 75ක පමණ වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය හා හැටන් අධ්‍යාපන කලාපවල පාසල් 306ක් ඇතුළු මධ්‍යම පළාතේ පාසල් 312ක් අද දිනයේ වසා තැබීමට පියවර ගෙන තිබේ.