අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන රිමාන්ඩ්..

නාමල්ට මිලියන 70 ක් අල්ලස් දුන්යැයි අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන රිමාන්ඩ්..

by Staff writer 24-09-2026 | 5:59 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 ක් අල්ලස් ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේ විමර්ශනයට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ ය.

අල්ලස් කොමිසම අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව  සැකකාරිය අත් අඩංගුවට ගත්තේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ අදාළ සමාගමට නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන සැකකාරියට එරෙහි චෝදනාව ගොනු කර ඇති බවයි.

ඇය අවස්ථා තුනකදී අදාළ මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.