එයාර් බස් ගනුදෙනු නඩුවේ නාමල් සැකකාරයෙක්...

එයාර් බස් ගනුදෙනු නඩුවට නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරයි...

by Staff writer 14-09-2026 | 3:10 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව  මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබේ.

ඒ , නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුවයි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දුන්නේ ය.

නීතිපති උපදෙස් සහ ඒකාබද්ධ විමර්ශනයක් අනුව එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසමෙන් පසුගියදා අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

ඔහු සැප්තැම්බර් 16 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) නියෝග කළේ ය.