.webp)

පෙත්සම අද කැඳවූයේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාස්කු ඉරුදින ප්‍රහාරය පෙත්සම්කාර සුරේෂ් සලේ සිදුනොකළ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකළ ජාත්‍යන්තර විමර්ශන තුළින් අනාවරණය වී ඇති බවයි.
සහරාන් හෂීම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර ඇති බව, ජනක් ද සිල්වා කොමිසම හමුවේ ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.
ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, එම සංවිධානය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ මතවාදය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වී ඇති බවයි.
මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම සහරාන් හෂීම් ඇතුළු පිරිසගේ අරමුණ වී තිබූ බවද ජනක් ද සිල්වා කොමිසමේ වාර්තාවෙන් හෙළිදරව් කර ඇතැයි, ඔහු පෙන්වා දුන්නේ ය.
ජනාධිපත් නීතීඥ සංජීව ජයවර්ධන පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සඳහන් කරන ආකාරයට සුරේෂ් සලේ මෙම ප්‍රහාරය සිදු කළ බවට සාක්ෂියක් කොමිෂන් සභා වාර්තා තුළ අන්තර්ගත නොවන බවයි.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදුකිරීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ බව එවක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඔහුගේ ප්‍රකාශවලින් තහවුරු කර ඇති බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර සිටියා.
එෆ්.බී.අයි සංවිධානයේ නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන වලට සහය දක්වා ඇති බව කියා සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන විමර්ශනයේදී ඩිජිටල් උපකරණ විශ්ලේෂණය කිරීම, වින්දිතයින් ගෙන් තොරතුරු ලබා ගැනීම ඇතුළු කටයුතු ගණනාවකට එෆ් බී අයි නිළධාරීන් සහය වී ඇති බවද පැවසූවා.
එහි විමර්ශනය සිදු කරන කාලයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර තිබුනේ ශානි අබේසේකරයි.
තවුහිද් ජමාත් සංවිධානය සිදුකළ සහ සිදුකිරීමට නියමිතව තිබූ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්යක්ෂ ශානි අබේසේකර දැන සිටියද, ඒවා වැළැක්වීමට ඔවුන් කිසිදු පියවරක් ගෙන නැති බව ජනාධිපති නීතීඥවරයා චෝදනා කර සිටියේ ය.
2019 ජනවාරි මස 25 වැනිදා සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා සහරාන් හෂීම් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානය සිදුකළ සහ සිදුකිරීමට නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට වාර්තා යොමු කර තිබූ බවත් එහි පිටපත් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වෙත යොමු කර තිබෙන බවත්, ඔහු පැවසුවේය.
ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ, එම ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමට වගකිව යුතු බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නෙමැති බවයි.
අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන සිදුකරන නිලධාරීන්ට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු වාර්තා යොමුකර නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වාසල තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි නැමැති නිලධාරියා ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇති බවද, ජනාධිපති නිතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ය.
පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ජූලි 17 වැනිදා යළි සිදුකිරීමට නියමිතයි.
