මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ඇමති වාර්තාවක් කැඳවයි

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන අධිකරණ ඇමති වාර්තාවක් කැඳවයි...

by Staff writer 06-07-2026 | 7:42 AM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්  ඒ.සී ගජනායක පැවසුවේ ගැටුම පිළිබඳ හා ගැටුම හේතුවෙන් සිදුවු දේපල හානිය සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක බවයි.

විමර්ශන සඳහා නිලධාරින් කණ්ඩායමක් යොදවනු ඇතැයිද ඔහු පැවසුවේය.

එම ගැටුම සම්බන්ධයෙන් පොලීසියද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ අද(06) දින එම සිද්ධිය සම්බන්ධ වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.

මීගමුව බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනකු මියගොස් 38 දෙනෙකු තුවාල ලැබූහ.

මීගමුව රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියන් 10 දෙනෙකුට ශල්‍යකර්ම සිදුකළ බවයි.

බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහළය මත, විරෝධය පාමින් සිටියදී එම වහළය කඩා වැටීමෙන් ද සිව් දෙනෙකු තුවාල ලැබූහය.

පොලීසිය පැවසුවේ බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලාකාය කැඳවා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දක්වන පිරිසක් සහ ඊට විරුද්ධත්වය දක්වන පිරිසක් අතර එම ගැටුම හටගෙන ඇතැයි, මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.