ඩෙංගු මර්දන වැඩසටහන් අදත්..

බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අදත්..

by Staff writer 06-07-2026 | 10:05 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද දිනයෙත් ක්‍රියාත්මක වේ.

ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙනි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ඊයේ (05) දින තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ පරිශ්‍ර 6,160 ක් පරීක්ෂාවට භාජනය කළ බවයි.

එහිදී පරිශ්‍ර 97 ක් ​සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ.

තවත් පරිශ්‍ර 67 ක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද, ඔහු සඳහන් කළේ ය.

කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඊයේ එම වැඩසටහන ක්‍රියාත්මක විය.

වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන බියගම, කැලණිය, සීදූව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලත් ඊයේ දිනයේ එම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.