මීගමුව බන්ධනාගාරයේ ගැටුමක්: රැඳවියන් දෙදෙනෙකු මරුට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමක්: රැඳවියන් දෙදෙනෙකු මරුට.

by Staff writer 05-07-2026 | 10:20 PM

COLOMBO(News1st) - මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මිය සඳහන් කළේ, එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 30 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බවයි. ඉන් රැඳවියන් 10 දෙනෙකුට ශල්‍යකර්ම සිදු කර ඇති බවත්, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් ඇය ප්‍රකාශ කළාය.

රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබුණේ අද දහවල් කාලයේදීයි.

මේ වනවිට බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බව පොලිසිය පවසයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගෙන තිබිණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වන පිරිසක් සහ ඊට විරුද්ධත්වය පළ කරන පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි. බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.