ඩෙංගු කීටයින් හමූවු පරිශ්‍රවල හිමිකරුවන්ට වුණු දේ.

ඩෙංගු මදුරු කීටයින් හමූවු පරිශ්‍රයන්වල හිමිකරුවන් 6,000කට එරෙහිව නීතිමය පියවර. ධූමායන කටයුතු දැඩි කෙරේ. - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

by Staff writer 04-07-2026 | 7:28 AM

COLOMBO(News1st) -  මදුරුවන් ව්‍යාප්තවන අයුරින් පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් හය දහසකට පමණ එරෙහිව පසුගිය මාස 6 තුළ නීතිමය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම්, චමිල් මුතුකුඩ ජනතාවට දැනුම් දෙන්නේ, පරිශ්‍ර පිරිසිදු කර ගනිමින් ඩෙංගු මර්දන කටයුතු සඳහා සහාය ලබාදෙන ලෙසයි.

මේ අතර ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල ධූමායන ක්‍රියාවලිය දැඩි කිරීමට අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ, ඩෙංගු මර්දනය සඳහා නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීයි.

අධි අවදානම් කලාපවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වීම තුළින් ගත හැකි තිරසර විසඳුම් සම්බන්ධවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

එහිදී පසුගිය මස 23 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයට අදාළව සියලු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සහ වත්මන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර මෙන්ම ඉදිරි වැඩපිළිවෙළ සහ සැලසුම් පිළිබඳ එහිදී විමසා බැලූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ඩෙංගු පාලනය කිරිමේ මෙහෙයුම් මැදිරියට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී අවධානය යොමුකල බවයි.

ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ඉන් මුදා ගැනීමට නම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව ක්‍රමවේද ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කළ  යුතු බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට  පමණක් තනිව සිදුකළ නොහැකි  බවත්, ඒ වෙනුවෙන් ජනතාවටද විශාල වගකීමක් පැවරී තිබෙන බවත් සඳහන් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දායකත්වය ඉහළ නංවමින් නිවෙස් ආශ්‍රිත  පිරිසිදු කිරීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මෙන්ම නිවැරදි දත්ත මත පදනම්ව අධි අවදානම් කලාප ඉන් මුදා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කර තිබේ.

මේ අතර ඩෙංගු මර්දන වැඩසටහන් දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, අධි අවදානම් කලාපවල ඩෙංගු මර්දන සහායකයින් අවදානම අඩු ප්‍රදේශවලට රැගෙන විත් ඩෙංගු මර්දන කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 57,668ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, ඩෙංගු මරණ සංඛ්‍යාව ද, 36ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.