බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ...

බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය ලබන 20 වැනිදා සිට යළි ආරම්භ කෙරේ...

by Staff writer 18-06-2026 | 11:06 AM

COLOMBO (News 1st) - උඩරට දුම්රිය මාර්ගයේ, බදුල්ල සහ අඹේවෙල අතර පමණක් ක්‍රියාත්මක වූ දුම්රිය ධාවනය අනිද්දා (20) සිට, නානුඔය දක්වාද ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සීමා විය.

නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය ධාවනය ඇණ හිටියේ 134 වැනි සැතපුම් කණුව අසළ අඩි 120ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම නාය යාම හේතුවෙනි.

මේ වන විට එම කොටස සම්පූර්ණයෙන්ම පිළිසකර කර ඇති අතර අනිද්දා සිට නානුඔය සහ බදුල්ල අතර දිනකට දුම්රිය වාර 4ක් ක්‍රියාත්මක වනු ඇති.

ධාවනය වන සෑම දුම්රියක්ම, ආසන වෙන් කිරීමේ පහසුකම සහිත පළමු පංතියේ සහ දෙවන පංතියේ මැදිරිවලින් සමන්විත වේ.

ඒ අනුව එම දුම්රිය මාර්ගයේ, ගමන් ආරම්භ කිරීමට හෝ ගමනාන්තය ලෙස අඹේවෙල තෝරාගෙන දැනටමත් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට එම ප්‍රවේශපත්‍ර මගින් නානුඔය සිට ගමන් ආරම්භ කිරීමට හෝ ගමනාන්තය ලෙස තෝරාගැනීමට හැකිවනු ඇති.

සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතින බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.