සිරස මාධ්‍ය ජාලය සහ ABC ඕස්ට්‍රේලියා අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා ශක්තිමත් කරමින් සිරස මාධ්‍ය ජාලය සහ ABC ඕස්ට්‍රේලියා අතර ඓතිහාසික ගිවිසුමක්!

by Staff writer 28-05-2026 | 6:01 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සබඳතා තවදුරටත් පුළුල් සහ ශක්තිමත් කරමින් සිරස මාධ්‍ය ජාලය, ඕස්ට්‍රේලියාවේ ජාතික මාධ්‍ය ජාලය වන ඕස්ට්‍රේලියන් බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (ABC Australia) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට එළැඹුණා.

සංචාරක කර්මාන්තය, ආයෝජන හා ව්‍යාපාර, කලා නිර්මාණ මෙන්ම පුද්ගල සබඳතා ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සැලසෙන මෙවැනි අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අත්සන් තැබුණු මුල්ම වතාව මෙය වීම විශේෂත්වයක්.

සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් සහ ABC ඕස්ට්‍රේලියා වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ ප්‍රධානී ක්ලෙයාර් එම්. ගෝමන් (Claire M. Gorman) මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ සුරංග ජයලත් සහ ABC ඕස්ට්‍රේලියා ජාත්‍යන්තර විකාශන සහ ඩිජිටල් සේවා ප්‍රධානී නෙස්රින් බුසියාන් ද මෙම අවස්ථාවට එක්වුණා.

මෙම නව අවබෝධතා ගිවිසුම මගින් ABC ඕස්ට්‍රේලියා සහ සිරස මාධ්‍ය ජාලය අතර වැඩසටහන් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ නිෂ්පාදන සිදු කිරීම සහ වෘත්තීයමය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවනවා.

"දෙරටේ සබඳතා තවත් පුළුල් වෙනවා" - ක්ලෙයාර් එම්. ගෝමන්
ගිවිසුම අත්සන් කරමින් ABC ඕස්ට්‍රේලියා ජාත්‍යන්තර ප්‍රධානී ක්ලෙයාර් එම්. ගෝමන් පැවසුවේ, මේ මගින් දෙරට අතර සබඳතා තවත් පුළුල් වනු ඇති බවයි.

"කැපිටල් මහාරාජා සමූහය සමග අපේ සහයෝගීතාවය නිල වශයෙන් එළිදැක්වීම පිළිබඳව අපි සතුටට පත්වෙනවා. මේ හරහා සහයෝගීතාවයට තවත් අවස්ථා ලැබෙන අතර මාධ්‍ය සංවර්ධනයට වැඩසටහන් හුවමාරුවත්, ඩිජිටල් අවකාශයෙන් කථා කියන්නත් (Digital Storytelling) අවස්ථාව ලැබෙනවා. දැනටමත් ශක්තිමත්ව ඇති අපේ සබඳතා මත තමයි මේ අලුත් සහයෝගීතාව ගොඩනැගෙන්නේ. ඉන්දු පැසිෆික් කලාපයේ මහජනයා වෙනුවෙන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය මෙයින් පිළිඹිබු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තිබෙන සංස්කෘතික හා මාධ්‍ය සම්බන්ධතා මේ තුළින් තවත් ශක්තිමත් වෙනවා."

"අර්බුදකාරී අවස්ථාවලදී ABC අප සමග සිටියා" - ශෙවාන් ඩැනියල්
ගිවිසුම අත්සන් කරමින් අදහස් දැක්වූ කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා මෙසේ සඳහන් කළා.

"ABC ඕස්ට්‍රේලියා සමග අපගේ හවුල්කාරිත්වය 2022 දී ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය අතරතුර ආරම්භ වූවක්. සිරස මාධ්‍ය ජාලය සහ රට යන දෙඅංශයේම බලවත් විශ්වාසයක් ඒ මගින් ඇති කළා. එතැන් සිට, 2025 දී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව ඇතුළු අභියෝගාත්මක කාලවලදී ABC අපත් එක්ක හිටියා. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම විශ්වාසදායක හවුල්කාරිත්වයක අර්ථවත් ඊළඟ පියවරක් සනිටුහන් කරන අතර, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වටිනාකම් වඩාත් ගැඹුරින් හුවමාරු කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා."

සිරස මාධ්‍ය ජාලය සහ ABC ඕස්ට්‍රේලියා අතර 2022 දී ඇති කරගත් මූලික එකඟතාව අනුව, 2023 අප්‍රේල් 19 වැනිදා සිට ABC වැඩසටහන් සිරස මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය කිරීම ආරම්භ වුණා.

පළමු පියවර: ‘Culture by Design Season 2’

මෙම නව අවබෝධතා ගිවිසුම මගින් සහයෝගීතාව තවදුරටත් පුළුල් වන අතර, එහි පළමු පියවර ලෙස 'Culture by Design Season 2' වැඩසටහන සිරස මාධ්‍ය ජාලය සහ ABC ඔස්ට්‍රේලියා ඒකාබද්ධ නිෂ්පාදනයක් (Co-production) ලෙස එළිදැක්වීමට නියමිතයි.

සංස්කෘතිය හා සම්බන්ධ වාස්තු විද්‍යාව මුල් කරගත් මෙම වැඩසටහන ඉදිරියේදී ලොව පුරා විකාශය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් සුබ පැතුම්!

මෙම නව අවබෝධතා ගිවිසුමට සුබ පතමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා පැවසුවේ, මේ හරහා ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවත් පුළුල් වනු ඇති බවයි.

"සිරස මාධ්‍ය ජාලය සහ ඕස්ට්‍රේලියාවේ, ඕස්ට්‍රේලියන් බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් මම පළමුවෙන්ම සුබ පතනවා. මේ හරහා ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් අතර බොහෝ තොරතුරු හුවමාරු කරගන්න අවස්ථාව උදාවෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ වැඩසටහන් සම නිෂ්පාදනයන් සිදුවන අතර, එකිනෙකා සිදුකරන අනෙකුත් වැඩසටහන් හුවමාරු කිරීමටත් අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව ආසියා පැසිෆික් කලාපයේ නිෂ්පාදනය වන වැඩසටහන් ශ්‍රී ලංකාවටත් ඕස්ට්‍රේලියාවටත් එක ලෙස වැදගත් වන අතර, මේ හරහා විශාල සහයෝගීතාවක් ඇති වෙනවා.

අපිට මේ ගැන ලොකු අතීතයක් තියෙනවා. ශ්‍රී ලංකාවයි ඕස්ට්‍රේලියාවයි මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තේ බොහෝ කාලයකට පෙර. එය 1950 දශකය දක්වා දිවයන්නක්. ඒ කාලයේදී ඕස්ට්‍රේලියානු සන්නිවේදන විද්වතෙක් වූ ක්ලිෆර්ඩ් ඩොඩ් ලංකාවට ඇවිල්ලා 'රේඩියෝ සිලෝන්' (Radio Ceylon) සඳහා අලුත් ව්‍යාපාරික ජාලයක් හඳුන්වා දුන්නා. මෙය ඉතාමත් සාර්ථක දෙයක් වුණා. ඉන් පසුව අප අතර වසර ගණනාවක් පුරා ලොකු සබඳතාවක් සහ සහයෝගීතාවක් ගොඩනැගුණා.

වර්තමානයේදී මේ සහයෝගීතාවය සම නිෂ්පාදන දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසර කිහිපය තුළ අප විවිධ වැඩසටහන් හුවමාරු කරගත්තා. අපි ඉතාමත් සතුටු වෙනවා 'කල්චර් බයි ඩිසයින්' (Culture by Design) වැඩසටහන සම නිෂ්පාදනය කිරීම ගැන. ඒ හරහා අපේ රටවල් අතර තියෙන වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණ කලාව පිළිබඳවත් පෙන්නුම් කරන්න වගේම, ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩසටහන් සහ අනෙකුත් අංග හුවමාරු කරගන්නත් අවස්ථාව ලැබෙනවා.

මම හිතනවා මෙය ඉතාමත් වැදගත් කාරණයක් කියා. තවත් වැදගත් දෙයක් වන්නේ අපේ රටවල් අතර අපි කථා කියන ආකාරය සහ මේ තුළින් අපි එකිනෙකා තේරුම් ගන්නා ආකාරයයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව වඩාත් හොඳින් තේරුම් ගැනීමට මෙම සහයෝගීතාව බෙහෙවින් වැදගත් වෙනවා."