අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 13-05-2026 | 8:22 AM

COLOMBO(News1st) -

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලීමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට 100mm පමණ වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං වලින් හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අද පෙරවරු 6.30 න් අවසන් වූ ගෙවුනු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වර්තා වූයේ පිළියන්දල කැස්බෑව ප්‍රදේශයෙන් ය.

එම අගය මිලිමීටර් 204 කි.

ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයට මිලීමීටර් 145.5 ක වර්ෂාවක් හා රත්නපුර ගිලිමලේ ප්‍රදේශයට මිලිමිටර් 121 ක් අදාළ කාලය තුළ ලැබී තිබේ.

ගම්පහ වතුපිටිවලට ලැබී ඇති වර්ෂාපතය මිලී මිටර් 105.2 කි.

ගාල්ල දිවිතුරට මිලිමිටර් 102 ක් හා බණ්ඩාරගම ප්‍රදේශයට 102 .5 ක වර්ෂාපතයක් ලැබි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අතර වර්ෂාවත් සමග කළු, ගිං ඇතුළු ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

මේ අතර , දිස්ත්‍රික්ක 8 කට පැනවූ නායායෑම් පිලිබඳව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය  නිකුත් කළ නිවේදනයට අනුව බදුල්ල, කළුතර, මහනුවර ,කෑගල්ල , කුරුණෑගල, මාතලේ , මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට එම අනතුරු ඇඟවීම් බලාත්මක වනු ඇති.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් ,කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්,

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත , පාතහේවාහැට,යටිනුවර,ගග ඉහළ කෝරලේ,අකුරන,ගඟවටකෝරලේ ,දොළුව, පස්බාගේ කෝරලේ සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක , රඹුක්කන ,මාවනැල්ල ,කෑගල්ල බුලත්කොහුපිටිය සහ යටියන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අඹන්ගඟ කෝරලේ සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ද නායයෑම් අනතුරු ඇගවීම් බලාත්මක වෙයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය හා බඩල්කුඹුර ,රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර කලවාන ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.