අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

2026-05-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

by Staff writer 12-05-2026 | 5:24 PM

COLOMBO(News1st) - 2026-05-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි වලව්වේවත්ත නැමැති ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභා සීමාවේ හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණ ලා කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි, ප්‍රමාණයෙන් අක්කර 01 රූඩ් 01 පර්චස් 19.40 යුක්ත ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් එකී ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99ක කාලසීමාවකට දිගුකාලීන බදු පදනම මත එකී ඉඩම සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව සහ බෙලරූස් ජනරජය අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම

- විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා 2026-05-12 දින සිට 2026-05-15 දින දක්වා බෙලරූස් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගනිමින් ගුවන් සේවා, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි එකී නිල සංචාරය අතරතුරදී පහත සඳහන් ගිවිසුමට සහ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ බෙලරූස් ජනරජයේ රජය අතර ගුවන් සේවා ගිවිසුම.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ බෙලරූස් ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බෙලරූස් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.


යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකරණ කටයුතු පවත්වාගෙන යාම සඳහා 'භාරයක්' පිහිටුවීම

- ශ්‍රී ලංකාවේ සංස්කෘතික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස හා යාපනයේ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීම, සංරක්ෂණය කිරීම සහ පෝෂණය කිරීම සඳහා වන ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කිරීම අරමුණු කර ගනිමින් ඉන්දියානු රජයේ ආධාර මත මහල් 11කින් සමන්විතව යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කරනු ලැබ ඇත. 2022-02-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් අනුමැතිය පරිදි යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම අනුව එකී සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු සම්බන්ධව තීන්දු තීරණ ගැනීම සඳහා ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එකී අවබෝධතා ගිවිසුමේ විධිවිධාන පරිදි ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වීමෙන් පසු එම සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකා රජය හරහා යාපනය මහ නගර සභාව වෙත පැවරිය යුතුය. එලෙස පවරා දීමෙන් අනතුරුව එහි කළමනාකරණ කටයුතු සිදු කිරීම සඳහා භාරයක් ස්ථාපිත කිරීමට අදාළ පාර්ශ්වයන් අතර එකඟතාවකට පැමිණ ඇත. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති භාර ඔප්පු කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකරණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වන භාරය ස්ථාපිත කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාන් ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් 245ක් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදලක් ලබාදීම

- අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් කුඹුරු ඉඩම් අක්කර 11,500කට පමණ යල සහ මහ දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබා දීමේ අරමුණින් ඝනමීටර මිලියන 169ක ධාරිතාවකින් යුතු යාන් ඔය ජලාශය ඉදිකරනු ලැබ ඇත. එකී ජලාශය ඉදිකිරීමේදී අත් කර ගනු ලැබූ ඉඩම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු රජයේ තක්සේරුව අනුව සිදු කර ගෙන යනු ලැබේ. එම ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් සඳහා විකල්ප කුඹුරු ඉඩම් කට්ටි 313ක් ලබා දී ඇත. එමෙන්ම, තෝරාගත් පවුල් 614ක් සඳහා විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදල් ලබා දීමට 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් විසින් අතිරේක වන්දි මුදල් ලැබීමට සුදුසු පවුල් 540ක් හඳුනා ගෙන ඔවුන් සඳහා වන්දි මුදල් ලබා දී ඇත. විකල්ප කුඹුරු ඉඩමක් ලබා දීමට හැකියාවක් නොමැති බැවින් අතිරේක වන්දි මුදල් ලැබීම සඳහා හිමිකම් ලබන තවත් පවුල් 245ක් හඳුනාගනු ලැබ ඇත. රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් වාරි ජලය මඟින් යල සහ මහ දෙකන්නය වගා කරන කුඹුරු ඉඩම් අක්කර එකහමාරක (1 1/2) වටිනාකම රුපියල් 1,800,000/-ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබේ. ඒ අනුව, තවදුරටත් හඳුනාගනු ලැබ ඇති පවුල් 245 සඳහා එක් පවුලකට රුපියල් 1,800,000/- බැගින් අතිරේක වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'වාරි මහිම - අපේ උරුමය' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- ශ්‍රී ලංකාවේ කුඩා වාරි ව්‍යාපෘති සහ එල්ලංගා පද්ධති යනු ‌ඓතිහාසිකව විකාශනය වූ, ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ජල කළමනාකරණ පද්ධති වන අතර, ඒවා ග්‍රාමීය කෘෂිකර්මාන්තය සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තිරසර ලෙස පවත්වා ගැනීමට දායක වී ඇත. එහෙත්, රොන්මඩ තැන්පත් වීම, ව්‍යුහාත්මක දුර්වලතා, වාරිමාර්ග කාර්යක්ෂමතාව අඩු වීම, එල්ලංගා පද්ධති ආශ්‍රිත සංරක්ෂිත කලාපවල අනවසර පදිංචි වීම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් එම පද්ධති විශේෂ අවධානයට ලක් කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. එබැවින්, කුඩා ග්‍රාමීය ව්‍යාපෘති, එල්ලංගා පද්ධති සහ ගම්මාන කේන්ද්‍ර කරගත් කෘෂිකාර්මික ඒකකවල කෘෂිකාර්මික සශ්‍රීකත්වය සහ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ‘වාරි මහිම ‑ අපේ උරුමය’ යන නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 2026 වර්ෂයේ අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් වී තිබේ. ඒ අනුව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසෙහි 2 වන අදියර (රඹුක්කන සිට ගලගෙදර දක්වා) කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

- මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3වන කොටසෙහි 2 වන අදියර (රඹුක්කන සිට ගලගෙදර දක්වා) කිලෝමීටර 13+800 සිට කිලෝමීටර 32+450 දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරගකාරි ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 07ක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ අනුව, 2A, 2B, 2C සහ 2F පැකේජ සඳහා ලංසුකරුවන් 06දෙනෙක් ද, 2D පැකේජය සඳහා ලංසුකරුවන් 05දෙනෙක් ද, 2E පැකේජය සඳහා ලංසුකරුවන් 04දෙනෙක් ද, 2G පැකේජය සඳහා ලංසුකරුවන් 03දෙනෙක් ද ලංසු ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

2A පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.90ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
2B පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.71ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට කේ.ඩී.ඒ.වීරසිංහ ඇන්ඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
2C පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.12ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
2D පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 16.39ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට නෙම් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
2E පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 18.70 (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත ප්‍රදානය කිරීම.
2F පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.52ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
2G පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 19.10ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 865,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

- උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 1,900,000 සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවෙහි United Biotech (Pvt) Ltd., (Manufacturer: United Biotech (P) Limited, India) වෙත පිරිනැමීම පිණිස 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුල් ඇණවුම් ප්‍රමාණයෙන් තවත් 45.53%ක් එනම්, වයල් 865,000ක් සපයා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 865,000ක් වයල් 1ක් එහි මුල් ඇණවුමේ මිල වූ ඇමෙරිකානු ඩොලර් 1.05 බැගින්ම නැවත සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පෙර සැපයුම්කරු වන ඉන්දියාවෙහි United Biotech (Pvt) Ltd., (Manufacturer: United Biotech (P) Limited, India) වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල ඇමෙරිකානු ඩොලර් 908,250ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීම

- 1979-01-01 දින සිට ක්‍රියාත්මක රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ලංකා උකස් බැංකුව හා කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාව ඒකාබද්ධ කිරීමෙන්, 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත මඟින් පිහිටුවා ඇත. දැනට ක්‍රියාත්මක පනතේ ඇතැම් සීමාවන් හේතුවෙන්, බැංකුවේ ඉලක්ක අපේක්ෂිත මට්ටමට සපුරා ගැනීමට සහ අපේක්ෂිත ලාභය පවත්වා ගැනීමට නොහැකි වී තිබේ. එබැවින්, වත්මන් ව්‍යාපාරික පරිසරයට ගැළපෙන පරිදි සහ අපේක්ෂිත ඉලක්ක සහ අරමුණු ඉටු කර ගැනීමට හැකි වන පරිදි පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික සහ ක්‍රම සම්පාදන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම

- 2025-12-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් 1958 අංක 29 දරන සත්ව පනතෙහි 'සතා' යන අර්ථ නිරූපණයෙහි 'එළ හරකා' සහ 'මී හරකා' යන සතුන්ට අමතරව ඌරා, එළුවා සහ බැටළුවා ද ඇතුළත් කර පනතේ අර්ථ නිරූපණ වගන්තිය සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. එම අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් භාෂාත්‍රයෙන්ම සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබේ. ඒ අනුව, එකී සංශෝධනය ඇතුළත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ දක්වා ඇති වැරදිවලට අදාළ මූල්‍යමය දණ්ඩන සංශෝධනය කිරීම

- 2025-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ දක්වා ඇති වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. එම අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් පනතේ 7(3), 13(2) සහ 20(අ)(3) වගන්තිවල සඳහන් මූල්‍යමය දණ්ඩන රුපියල් 10,000/- සිට රුපියල් 100,000/- දක්වා ඉහළ නැංවීම පිණිස ප්‍රතිපාදන ඇතුළත් කර පනත් කෙටුම්පතක් භාෂාත්‍රයෙන් සකස් කර ඇති අතර, ඒ සදහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී ඇත. ඒ අනුව, එම සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සලකුණු සහ ආරක්ෂක සලකුණු කළමනාකරණය පවත්වා ගෙන යාම සඳහා සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය

- 2018 අංක 26 දරන සුරාබදු (සංශෝධන) පනත මඟින් මත්පැන් නිෂ්පාදනවල ආරක්ෂක සලකුණු තැබීමට අදාළ නීතිමය විධිවිධාන හඳුන්වා දී ඇත. ඒ අනුව, 2021-10-16 දිනැති අංක 2249/50 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති අංක 10/2021 දරන සුරාබදු නිවේදනය මඟින් ආනයනික විදේශීය මත්පැන්, දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන්, සහ දේශීය මත්පැන් සඳහා ආරක්ෂක සලකුණු යෙදීම 2021-01-03 දින සිට බලපැවැත්වෙන පරිදි අනිවාර්ය කරනු ලැබ තිබේ. දැනට ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ සේවාව පවරා ඇති ආයතනයේ කොන්ත්‍රාත් කාලසීමාව 2027-01-01 දිනෙන් අවසන් වීමට නියමිත ය. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ තනි‑අදියර ද්විත්ව කවර ලංසු කැඳවීමේ ක්‍රමවේදය භාවිත කරමින් අදාළ දත්ත පද්ධතිය සඳහා අවශ්‍ය ආරක්ෂක සලකුණු සහ පද්ධති කළමනාකරණ සේවා සැපයීම පිණිස වසර 05ක කාලසීමාවක් සඳහා සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.