.webp)

ඒ එම නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේදීයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහි නඩුව පවරා තිබේ.
නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ අද කැඳවිය.
සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් දැනට ඇප මත සිටින රනිල් වික්‍රමසිංහ අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන දැනුම් දුන්නේ ය.
නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ තවත් සුවිශේෂී අනාවරණ කිහිපයක් අද අධිකරණය හමුවේ සිදුවිය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහගේ ප්‍රකාශය සහ වුල්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් විමසූ කරුණුවලට අදාළව ඊමේල් පණිවිඩයක් මගින් ලැබී ඇති ප්‍රතිචාරය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට වාර්තා කළේ ය.
වුල්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිචාරය අනුව, රනිල් වික්‍රමසිංහගේ සංචාරය 2022 සැප්තැම්බර් 22 වැනිදා එම විශ්ව විද්‍යාලයේ පැවැත්වූ මෛත්‍රී වික්‍රසිංහට ගෞරව මහාචාර්ය උපාධියක් ලබාදීම හා ඊට සමගාමීව පැවති දිවා භෝජන සංග්‍රහයට සහභාගීවීමට අදාළ කටයුත්තකි.
ඒ සඳහා එක්සත් රාජධානි රජයේ කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් සිදුවී නොමැති බවත් 2023 සැප්තැම්බර් 1 වැනිදා දිනය සඳහන් ලිපිය ආරාධනාව ලෙස ලැබී ඇති බවත් එම ලිපිය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය අනුව ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය හරහා යොමුවී ඇති බවට අනාවරණයක් සිදුනොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් අනාවරණයවී ඇත්තේ, 2023 සැප්තැම්බර් 22 හා 23 දෙදින එක්සත් රාජධානියේ සංචාරය තුළ රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල හමුවීම් කිසිවක් සිදුවී නොමැති බවයි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ පැහැදිලි කිරීම
උපුටා ගැනීම
''මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට 2023 වසරේ ජුලි 15 වැනිදා තමා වුල්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් උපාධි ප්‍රදානෝත්සවයට ආරාධනය ලැබිලා තියෙන්නේ. ඇය මේ උපාධි ප්රදෝනොත්ස්වට යන ආකාරයක් කල්පනා කර කර ඉන්න අතරතුර ඇයගේ ස්වාමි පුරුෂයා වන පළමු සැකකරු හට කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයක් ආ බවත් එම සංචාරය අතරතුර ට්‍රාන්සිට් එකක් ලෙස ඇයට උපාධි ප්රදානෝත්සවට යන්න අවස්ථාව ලැබුණු බවත් ඇය ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබෙනවා ස්වාමීනි. ස්වාමීනී මේ ජුලි 15 ලිපිය පිළිබඳ පළමු අවස්ථාව මෙයයි කරුණු අණාවරණය වන. මීට පෙර මේ ජුලි 15 ලිපිය පිළිබඳ අණාවරණය වීමක් නෑ. ස්වාමීනී මෙතන ගැටලුව පළමු සැකකරුට ඇමරිකා කියුබා සංචාරය ආ දිනයේම මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්රදෝනෝත්සවයට දින නියම වීමයි මෙතන ගැටලුව. ස්වාමීනි මේ පාර්ශ්ව දෙක අතර කුමන්ත්රණකාරී ගනුදෙනුවක් වී තිබෙනවාද කියා යම් සැකයක් තිබෙනවා. ස්වාමීනී ට්රාන්ස්සිට් එකක් කියන වචනයේ තේරුමත් තියෙනවනේ කවුද ට්රාන්ස්සිට් එකකට ඇජෙන්ඩා හදා ගන්නේ. මේක මේ ඇස් වහලා සැලසුම් සහගත ලෙස සැලසුම් කර ගිය ගමනක් ස්වාමීනී.''
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේ රනිල් වික්‍රමසිංහ සහ බිරිඳ මෙම සිද්ධිය සම්බන්ධව දරණ ස්ථාවරය පරස්පර බවයි.
උපුටා ගැනීම
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
“ස්වාමිනී, මේ දින දෙකේ සංචාරයේදී කිසිම රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් සිදු වී නෑ. මෙතන දැන් මහජන මුදල් අවභාවිතය ගැන, පොදු දේපල පනත යටතේ ප්‍රබල නඩුවක් තියෙනවා. මොකද ස්වාමීනී පළමු සැකකරු මේ සිද්ධියේදි දරණ ස්ථාවරය වෙන්නේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හරහා ලද නිල ආරාධනයක් අනුව මෙම දින දෙකේ සංචාරය ගිය බව. නමුත් ඔහුගේ බිරිඳ කියන්නේ මෙම පළමු සැකකරු ඇමරිකාවේ සහ කියුබාවේ සිදුකළ සංචාරය අතරතුර ට්රාන්ස්සිට් එකක් විදිහට උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වුණා කියලා. මැයගෙන් ප්‍රකාශය ලබා ගත්තේ පසුලිය 24 වැනිදා. මෙම ප්‍රකාශය සම්බන්ධව තවමත් අධ්‍යනය කරමින් සිටිනවා ස්වාමීනි විමර්ශන නිලධාරීන්. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙම නඩුවේ කිසිසේත්ම සාක්ෂිකාරියක් කරන්න බෑ.නෛතික ප්‍රතිපාදන අනුව. මොකද පළමු සැකකරු ඇයගේ ස්වාමීයා. නඩුවේ ඇයව සැකකාරියක් කරනවාද නැද්ද කියා තවම තීරණයක එළැඹ නෑ. ඒ පිළිබද ඇයගේ ප්‍රකාශය පූර්ණ අධ්‍යයනයකට ලක් කර තීරණය කරනවා''
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ තිලක් මාරපන මෙහිදී කියා සිටියේ සිය සේවාදායකයාට මෙම සංචාරයේ වියදම් ගැන වගකීමක් නොමැති බවයි.
මෙහිදී සිදුකර ඇති වියදම් ඉතා වැඩි බවත් ඒ තුළ පාර්ශ්ව කිහිපයක් වාසි අත්කර ගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ ය.
උපුටා ගැනීම
ජනාධිපති නීතීඥ තිලක් මාරපන
--- මේ රුපියල් මිලියන 16ක් වියදම් කලා කියනවා. අපිත් නිල ගමන් ගිහින් තියෙනවා. කවුද කොච්චර වියදම් කරනවාද කියලා අපි බලන් නෑ. මෙච්චර වියදම් කළේ මොකටද කියලා විමර්ශනය කරන්න ඕනී ස්වාමීනි. ස්වාමිනී මේ සංචාරය බ්‍රිතාන්‍ය රජයෙන් වාහන ලබා දුන්නා. හැබැයි සංචාරයේ වාහන වියදම් මිලියන 3ක් කියලා තියෙනවා. මගේ සේවාදායකයා වාහන භාවිතා කළේ නෑ. ලන්ඩනයේ නැවතිලා හිටියා කියන හෝටලය රේණුකා හෝටලය වගේ පොඩි හෝටලක්. මිලියන 2 ක් කෑමට ගිහින් කියලා තියෙනවා. මාසයක් කන්නවත් මිලියන දෙකක් යන් නෑනේ ස්වාමිනී මිනිහෙක්ට. මෙතන හොරකමක් වෙලා තියෙනවා. ස්වාමීනී මේ සංචාරයේ කටුයතු සංවිධානය කරපු ස්කයිවින්ස් කියන ආයතනය. මෙතන ලොකු ලොකු ගණන් දාලා මුදල් කාබසිනියා කරලා තියෙනවා.තානාපති කාර්යාලය හා සංචාරයේ ගමන් කටයුතු සංවිධානය කරපු මේ ස්කයිවිනිස් ආයතනය එකතු වෙලා මේ හොරකම කරලා තියෙන්නේ. මේක ගැන වෙනම විමර්ශනයක් කරන්න ඕනේ ස්වාමීනි.--
ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනාරාල් දිලීප පීරිස් පැවසූවේ,
මහජන මුදල් හිතුමනාපේ කිසිදු කරුණකට කිසිඳු පුද්ගලයෙකුට කාබාසිනියා කළ නොහැකි බවයි.
ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත් අපරාධ නඩුවක විමර්ශන කල් මැරීම තුළින් එම විමර්ශන වටිනාකම අඩු වී යන බැවින් කඩිනමින් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කරුණු සලකා බැලීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
උපුටා ගැනීම
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර
--- සාමාන්‍යයෙන් අපරාධ නඩුවක විමර්ශන කල් මැරීමෙන් සිදුවන්නේ එම විමර්ශනයේ වටිනාකම අඩුවෙන එක. ඒ නිසයි අධිකරණය මෙතරම් විමසන්නේ සැකකරුවන්ට අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධව. පළමු සැකකරුට එරෙහිව ඇති සාක්ෂි අනුව ඔහුට අධි චෝදනා ගොනු කිරීමේ හැකියාව තිබෙනවා. දෙවන සැකකරු සංචාරයට මුදල් අනුමත කිරීමේ ක්‍රියාවලියේදී කටයුතු කර තිබෙන ආකාරය අනුව ඔහුගේ සාවද්‍ය මනස සනාථ වෙනවා ඔහුටද අධි චෝදනා ගොනු කිරීමට හැකියි. විමර්ශනය කල් මරන් නැතුව සැකකරුවන්ට අධි චෝදනා ගොනු කරන්න. එසේත් නැතිනම් සැකකරුවන් නිදහස් කළ යුතුයි. පළමු සැකකරුගේ භාර්යාව සාපරාධී මනසකින් කටයුතු කළ බවට අධිකරණයට කරුණු අණාවරණය වීමක් මෙතෙක් සිදු වී නෑ. ඇයට අපරාධ වගකීමක් පැවරීමට මේ සිද්ධියේදී යම් කිසි කරුණු අනාවරණය වීමක් තිබේද යන්න කඩිනමින් විමර්ශනය කරන්න. මේ සියල්ලටම තව කොපමණ කාලයක් විමර්ශන නිලදාරීන්ට අවශ්‍ය වන්නේද?”
ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් කියා සිටියේ, විමර්ශන සඳහා මසක කාලයක් ප්‍රමාණවත් බවයි.
ඉදිරි නඩු දිනයට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
නඩුව ජූලි 8 යළි කැඳවීමට නියමිතයි.
