චීවරධාරීන්ට ආධාරඅනුබල දුන් ප්‍රධාන හිමිනමට වුණු දේ

තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරමට ආධාර අනුබල දුන් හිමි නමට දින 7ක රැදවුම් නියෝග,

by Staff writer 27-04-2026 | 6:47 PM

COLOMBO(News1st) - තරුණ හිමිවරුන් විසි දෙදෙනෙකු යොදාගෙන මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට මෙරටට ප්‍රවාහනයට අධාර අනුබලදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පූජ්‍ය අඟුණකොලේ අමිතානන්ද හිමි දින හතක් රදවා ප්‍රශ්න කිරීමට අධිකරණය අද(27) අවසර දී තිබේ.

ඒ සැකකාර හිමි අද(27) මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ගමන් මළු තුළ සූක්ෂ්මව අසුරා තායිලන්තයේ සිට කුෂ් සහ ඈෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික තොගයක් සමග හිමිවරුන් විසි දෙදෙනෙකු ඊයේ(26) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් අතර

එම ජාවාරමට ආධාර අනුබලදීමේ චෝදනාව මත අඟුණකොලේ අමිතානන්ද හිමියන් අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවයි.

උන්වහන්සේ අද(27) පස්වරු  4ට පමණ අධිකරණයට ඉදිරිපත් කළේ ය.

විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියා සිටියේ සැකකාර හිමි නම විෂ වර්ග හා අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනතේ 54 (1) වගන්තිය යටතේ ගැනෙන මත්ද්‍රව්‍ය ඡාවාරමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවයි.

සැකකාර හිමිනම අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත ඉදිරිපත් කළ බවත් එහිදී  සිදුකළ රුධිර සාම්පල පරීක්ෂාවේදී රුධිරයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට තහවුරු කර ඇති බවත් විමර්ශන නිළධාරීන් පවසා සිටියේය.

සැකකාර හිමිනම සන්තකයේ ජංගම දුරකථන තුනක් භාරයට ගත් බවද අධිකරණයට දන්වා සිටි විමර්ශන නිළධාරීන් කියා සිටියේ, මත්ද්‍රව්‍ය ඡාවාරම සිදු කිරීමට අදාළව WhatsApp සමූහයක් සැකකාර හිමි නම විසින් මෙහෙයවා ඇති බවයි.

ඉදිරි විමර්ශන සිදු කිරීමට ඇති බැවින් සැකකාර හිමිනම රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කළ අතර

ඒ අවස්ථාවේදී සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මේ අවස්ථාවේ ඇප ඉල්ලීමක් සිදු නොකරන අතර ඉදිරි දිනයක ඇප ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

පසුව අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර හිමි නම වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ කුමක් හෝ පැවසීමට ඇතිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සැකකාර හිමිනම “මෙය මාගේ නොදැනුවත්කමින් සිදු වූවක්” බව පවසා තිබේ.

කරණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර හිමිනම රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට විමර්ශන නිළධාරීන්ට අවසර ලබා දෙමින් සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනවලට අදාළව සවිස්තරාත්මක දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරි දින අධිකරණය ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිළධාරීන්ට නියෝග කළේ ය.