සාම පාද යාත්‍රාව මේ මස 22 ඇරඹෙයි..

සාම පාද යාත්‍රාවට සහභාගී වීමට භික්ෂූන් වහන්සේ කිහිපනමක් ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි..

by Staff writer 15-04-2026 | 10:46 PM

COLOMBO (News 1st) - අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව මේ මස 22 වැනි දා සිට 28 වැනි දා දක්වා පැවැත් වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් සහභාගීවීම සදහා භික්ෂූන්වහන්සේ කිහිප නමක් අද, ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා වැඩම කර තිබේ.

ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මෙරට පැවැත්වෙන සාම පාද යාත්‍රාව සදහා වැඩම කිරීමට නියමිතයි.

ඉන් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් අද මෙරටට වැඩම කරවීම සදහා ඇමරිකාවෙන් පිටත් විය.

ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා සාම පාගමන ආරම්භ කෙරෙයි.

අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාම පාගමනේ වැඩම කරවීමට නියමිතයි.

අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතයි.

සාම පාගමනේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සහ සම්බන්ධීකරණය සිදු කරන්නේ සිරස මාධ්‍ය ජාලයයි.