අද ගත් කැබිනට් තීරණ..

අද ගත් කැබිනට් තීරණ..

by Staff writer 04-11-2025 | 3:15 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
- ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ මහජන චීන සමූහාණ්ඩුවේ, චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනය (Institute of Geology and Geophysics) අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
කැලණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ භාරතීදාසන් විශ්වවිද්‍යාලය අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ යොකොහමා ජාතික විශ්වවිද්‍යාලයේ බහුවිධ විද්‍යා ආයතනය (Institute of Multidisciplinary Sciences) අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ ටොකුයමා විද්‍යාලයේ, ජාතික තාක්ෂණ ආයතනය (National Institute of Technology) අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
--------------
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතියක් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් කිරීම
- ජපාන රජයේ මූල්‍යමය හා තාක්ෂණික සහාය සහ ජපාන වෙරළාරක්ෂක බලකායේ විශේෂඥ සහාය යටතේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් 'ඉන්දු - පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සහ සාගර නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම' යන ව්‍යාපෘතිය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට 'Congnyte SI2' චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතිය ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම, මැඩපැවැත්වීම සහ එම ක්‍රියාකාරකම්වලට බාධා කිරීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම එමඟින් අපේක්ෂා කරනු ලැබේ. එමෙන්ම, ඒ තුළින් කලාපීය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂක මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ශක්තිමක් කළ හැකි වනු ඇත. එකී පද්ධතිය මෙරටට ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
-------------
ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම
- ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර දේශපාලන, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික, සංස්කෘතික, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පුළුල් කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම ‌දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
------------
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම - (2025-2026)
- ශ්‍රී ලංකාව මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳ ගැඹුරු හා නිරන්තර ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර, මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සාමාන්‍ය වාර්ෂික මරණ අනුපාතය පුද්ගලයන් 10,000කට 11.2ක් ලෙස වාර්තා වී ඇත. එය මාර්ග ආරක්ෂාව සඳහා වන දෙවැනි ගෝලීය ක්‍රියා දශකය (2021-2030) මඟින් නිර්දේශිත සහ එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලත් ආරක්ෂිත සීමාව ඉක්මවා ගොස් ති‌බේ. පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත හා වාර්තා අනුව, 2020‑2024 කාලසීමාව තුළ මෙරට රිය අනතුරු 118,697ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,322ක් මිය ගොස් ඇත. එමෙන්ම, දුම්රිය හරස් මාර්ගවල පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් අනතුරු 400ක් පමණ වාර්ෂිකව සිදු වන බව වාර්තාව වී තිබේ. එබැවින්, මාර්ග අනතුරු හේතුවෙන් අඛණ්ඩව ඉහළ යන මරණ හා හානි අවම කරමින් සියලු මාර්ග භාවිත කරන්නන් සඳහා ආරක්ෂිත හා සැමටම සමාන මාර්ග පරිසරයක් ඇති කිරීම පිණිස මාර්ග යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ආරක්ෂිත වාහන භාවිතා කෙරෙන බවට තහවුරු කිරීම හා එම වාහන නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇත. ඒ අනුව, එකී අරමුණු සහිත ව සකස් කරනු ලැබ ඇති 'මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025 - 2026' ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර‍න ලදී.
-----------------

ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම
- දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ ති‌බේ. අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දුපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ගරු ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බව බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
--------------
මහරගම-පිළියන්දල මාර්ගයේ කිලෝමීටර 2+000 සිට කිලෝමීටර 3+700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම
- කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර 46ක දිග ප්‍රමාණයකින් යුත් ජාතික මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සපයා ගැනීම පිණිස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹ ඇත. එම ණය මුදල යටතේ වන අවසන් ව්‍යාපෘතිය වශයෙන් කිලෝමීටර 6.7කින් යුත් මහරගම-පිළියන්දල මාර්ගය හඳුනාගනු ලැබ තිබේ. එම මාර්ගයේ එක් කිලෝමීටරයක ප්‍රමාණයක් දැනටමත් වැඩිදියුණු කර ඇති අතර, ඉතිරි කිලෝමීටර 5.7ක ප්‍රමාණය පැකේජ 03ක් යටතේ වැඩිදියුණු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, A සහ C කොටස්වල කිලෝමීටර 04ක ප්‍රමාණයක වැඩිදියුණු කිරීමේ කටයුතු ණය මුදලේ ප්‍රතිපාදන යටතේ දැනටමත් ආරම්භ කර තිබේ. B කොටස වන ඉතිරි කිලෝමීටර 1.7ක ප්‍රමාණය වැඩිදියුණු කිරීම සඳහා එකී ණය මුදලේ අරමුදල් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. එබැවින්, මහරගම-පිළියන්දල මාර්ගයේ B කොටසේ කිලෝමීටර 1.7ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් අලුත්වැඩියා කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
---------------
දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතිවල වැඩ නිම කිරීම
- මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැලසීම අරමුණු කර ගනිමින් පිහිටුවන ලද දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජකාරි කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නව ගොඩනැගිලි කිහිපයක් ඉදි කිරීම පසුගිය වසර කිහිපය තුළ ආරම්භ කර ඇත. ඒ අතරින්, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වැය ශීර්ෂ යටතේ ලබා දෙන වාර්ෂික ප්‍රතිපාදන මත අර්ධ වශයෙන් ඉදි කරනු ලැබ ඇති ව්‍යාපෘති 05ක් ද, ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම මත ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති ව්‍යාපෘති 06ක් ද පවතින බව හඳුනාගෙන තිබේ. පසුගිය කාලය තුළ ඉදික
- ඉදිකිරීම් ක්ෂේත්‍රයට පොදුවේ බලපෑ හේතූන් මෙන්ම එම ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ පිරිවැය ඇස්තමේන්තු ඉහළ යාම හේතුවෙන් ඒවායේ වැඩ නිම කිරීම ප්‍රමාද වී ඇත. ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල ප්‍රතිපාදන භාවිත කරමින් ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කරමින් ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමටත්, ඉදිකිරීම් කටයුතු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති රාජ්‍ය ආයෝජන සැලැස්මට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිපාදන සලසාගෙන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
--------------
විශේෂ කාර්ය බලකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම
- විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ. එම බලකාය වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314න් 90%ක් පමණ වසර 10කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ. එම තත්ත්වය විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී තිබේ. ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
------------------
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීම
- වසර 165ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවකි. එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ. දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරින් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරින් බඳවාගනු ලැබ ඇත. රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවාගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවාගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරින් බඳවාගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරුවලට කාන්තා නිලධාරින් බඳවාගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.