අද කාලගුණයට මොකද වෙන්නේ?

අද කාලගුණයට මොකද වෙන්නේ?

by Staff writer 26-10-2025 | 10:44 AM

COLOMBO(News1st) - අධික වර්ෂාවත් සමග කළු සහ ගිං ගංඟා තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ, අවදානම් මට්ටමට ළඟාවී ඇත්තේ, මිල්ලකන්ඳ සහ මඟුර ප්‍රදේශවලින් ය.

ගිං ගඟ, බද්දේගමින් ගංවතුර අවදානම් මට්ටමට පැමිණ තිබේ.

ඒ අවට පහත්බිම් වල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

ජලාශ  19ක වාන් දොරටු මේ වන විට තවදුරටත් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළේ, දැදුරු ඔය, රාජාංගනය ඇතුලු ප්‍රධාන ජලාශ 15 ක් ඒ අතර වන බවයි.

දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.

බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත් වේ.

‍ෙගිණිකොණ දිග බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය, අද(26) පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළේ, ලබන 28 වැනිදායින් පසු වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.