බිල්ගේට්ස් පදනම හා අගමැතිනිය අතර හමුවක්

බිල්ගේට්ස් පදනම හා අගමැතිනිය අතර හමුවක්

by Staff writer 11-07-2025 | 8:58 PM

COLOMBO (News1st) - අමෙරිකානු ගේට්ස් පදනමේ ( Bill & Melinda Gates foundation )  ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ හමුවක් ජුලි 11 වැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැතිවිණි.

මෙම හමුවේදී ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය  ක්‍රිස් එලියස් මහතා සිය පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය  බවත්, මෙම විශේෂ හමුව සඳහා  පාර්ලිමේන්තුව වෙත ආරාධනා  කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් කීවේය. 

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට ගේට්ස් පදනම ඉතා කැමැත්තෙන් පසුවන බව පැවසූ ආචාර්ය ක්‍රිස් එලියස්, මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය ආදිය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය ලබා දීමේ  හැකියාව පිළිබඳව ද කරුණු අනාවරණය කළේය. 

එහි දී අග්‍රාමාත්‍යවරිය  ගේට්ස් පදනම විසින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙනුත්, මාතෘ හා ළමා පෝෂණය ප්‍රවර්ධනය කරමින්  මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීම වෙනුවෙනුත් සුවිශේෂී අවධානයක් යොමු කරමින් සිදුකරන මෙහෙය  විශේෂ ඇගයීමට ලක් කළ අතර, ආසියාතික රටවල ඩිජිටල් තාක්ෂණික සංවර්ධනය උදෙසා ද පදනම මඟින් ලබා දෙන සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කළේ ය.

එමෙන්ම මෙරට පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පූරණය වෙනුවෙන් පාසල් තුළ දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ ක්‍රියාවලිය ඇතුළු රජය විසින් ගෙන යන වැඩසටහන් පිළිබඳව ගේට්ස් පදනම දැනුම්වත් කළ අග්‍රාමාත්‍යවරිය, මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් ගේට්ස් පදනම වෙතින්  ලබා දිය හැකි උපරිම සහයෝගය බලාපොරොත්තු වන බව ද ප්‍රකශ කළා ය. 

අධ්‍යාපනයේ නව ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් ඉගැන්වීම, ඉගෙනීම, තක්සේරු කිරීම සහ අධ්‍යාපන පරිපාලනය සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් සහ මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ ක්‍රමෝපාංග සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගා ඇති ඩිජිටල් අධ්‍යාපන  කාර්යසාධක බළකායේ ක්‍රියාකාරිත්වය  පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් ගේට්ස් පදනමේ සමාජිකයන් දැනුම්වත් කරනු ලැබීය.

එමෙන්ම  ඩිජිටල් අධ්‍යාපන කාර්යසාධක බළකාය වෙනුවෙන් මෙන්ම 2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන්  ද ගේට්ස් පදනමේ දායකත්වය සහ සහයෝගය ලබා දීමේ වැදගත්ගම ද අග්‍රාමාත්‍යවරිය විසින්  මෙහිදී පෙන්වා දෙනු ලදී. 

එහි දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ කාර්යසාධක බළකාය වෙනුවෙන් සහයෝගය  ලබා ගත හැකි පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ලබා දීමට ගේට්ස් පදනමේ සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පොරොන්දු විය.

මෙම විශේෂ හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ද ගේට්ස් පදනමේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන් , ගේට්ස් පදනමේ  අධ්‍යක්ෂ සහ වැඩසටහන් උපදේශක අර්චනා ව්‍යාස් ඇතුළු ගේට්ස් පදනමේ සාමාජික මහත්ම මහත්මීන් ද සම්බන්ධ වූහ.