නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට අක්‍රීය කෙරේ.

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රීය කෙරේ.

by Staff writer 13-06-2025 | 8:44 AM

COLOMBO (News1st) - නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය, අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, එය අවසන් කිරීම සඳහා දින 25ක කාලයක් ගතවන බවයි.

එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව, මෙගාවොට් 300කි.

මේ අතර නඩත්තුවක් හේතුවෙන් මාස එකහාමාරක පමණ කාලයක් අක්‍රීය කර තිබූ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රීය කිරීමට නියමිතයි.

ඉන්, ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව, මෙගාවොට් 165 කි.

ඒ මාස එකහමාරක් පමණ සිදුකළ නඩත්තු කටයුතු වලින් අනතුරුවයි.

පවතින වැසි තත්වයත් සමග ජල විදුලි නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් පැවතීම හේතුවෙන් එලෙස විදුලි බලාගාර නඩත්තු කටයුතු සිදුකරන බව, විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.