රමිත් රඹුක්වැල්ල රිමාන්ඩ්...

දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගත් හිටපු ඇමති පුතු රිමාන්ඩ්...

by Staff writer 21-05-2025 | 10:19 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද (21) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි රමිත් රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණින.

පෞද්ගලික කාර්යය මණ්ඩලයට හිතවතුන් පත්කර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් පාඩු කළැයි කියන දූෂණය නැමැති වරදට අදාළව  අල්ලස් කොමිසමට පැමිණ අද ප්‍රකාශයක් ලබා දෙන්නැයි අධිකරණය රමිත් රඹුක්වැල්ල මහතාට ඊයේ (20) නියෝග කළේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය එම නියෝගය කළේ, මෙම සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ දෙවන සැකකරු ලෙස රමිත් රඹුක්වැල්ල මහතා නම් කරමිනි.

2021, 23 කාලසීමාවේ ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් ලෙස  හිතවතුන් කිහිප දෙනෙකු නම් කර ඔවුන්ට හිමි දීමනා හිටපු අමාත්‍යවරයා විසින් ලබාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනවලින් අනාවරණය කර තිබේ.

මෙම නඩුවට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර , ඔහු ජුනි  3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය  නියෝග කළේ ය.