පාසල් දැරියකට හා මවට තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට..

කාර් රථයකට අනවසරයෙන් ඇතුළු වී පාසල් දැරියකට හා දැරියගේ මවට තර්ජනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට..

by Staff writer 07-05-2025 | 8:40 PM

COLOMBO (News 1st)-කාර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08 ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කොලොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන කොලොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දැරියගේ මව තම දැරිය පාසල නිම වීමෙන් පසුව නිවසට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් පැමිණ දියණිය පිටුපස අසුනෙහි වාඩි කර මෝටර් රථයට පිටු පසින් ගොස් රියදුරු අසුනෙහි වාඩි වන අවස්ථාවේදී පසුපස ආසනයේ සිටි නාඳුනන පුද්ගලයෙකු දැරිය තල්ලු කර තර්ජනය කරමින් බියට පත් කර ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී දැරියගේ මව දැරියද රැගෙන කාර් රථයෙන් පිටතට පැමිණ කෑ ගසා උදව් ඉල්ලා ඇති බවටත් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සැකකරු සිද්ධියෙන් පසු පලා ගොස් සිට ඇති අතර, දීර්ඝ විමර්ශනයක් සිදු කර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

කුරුඳුවත්ත පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.