නිල ජන්ද පත්‍රිකා 90% බෙදා අවසන්

පළාත් පාලන ඡන්දයේ නිල ජන්ද පත්‍රිකා 90% බෙදා අවසන් - තැපැල් දෙපාර්තමේන්තුව

by Staff writer 28-04-2025 | 5:59 PM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 90 කට වැඩි ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ, ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙටින් අවසන් වන බවයි.

හෙට (29) දිනය වන විටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට, ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකියි.

ඡන්ද විමසීම පැවැත්වෙන මැයි 6 වැනිදා පස්වරු 4 දක්වා, ඒ සඳහා අවස්ථාව පවතින බව, නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ ය.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය අද තුන්වැනි දිනටත් පැවැත්වේ.

තැපැල් ඡන්ද විමසීම, හෙටින් අවසන් වීමට නියමිතයි.