මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන්...මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

by Staff writer 27-04-2025 | 10:33 PM

COLOMBO (News 1st) - සිරි දළදා වන්දනාව සාර්ථකව නිම කළ බව මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් නිවේදනය කරයි.

උන්වහන්සේලා අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මෙතෙක් සිදු වූ විශාලතම මහජන ඒකරාශි වීම මෙය බවයි.

සියම් මහ නිකායේ මල්වතු පාර්ෂවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි සහ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ෂවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානාරතන මහනාහිමි යන දෙපලගේම අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මහනාහිමිවරු පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය අනුව අප්‍රේල් 18 වන දින සිට අද දින දක්වා දින 10 ක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ශ්‍රී දළදා වහන්සේ සියසින් දැක වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදා වූ බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මෙතෙක් සිදු වූ විශාලතම මහජන ඒකරාශී වීම වූ මෙම පුණ්‍යෝත්සවයේ සාර්ථකත්වය උදෙසා දළදා වන්දනාවට ආරාධනා කළ අවස්ථාවේ සිට රජ දවස සිට පැවති සම්ප්‍රාදයන් අනුව යමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකවම සොයා බලමින් දළදා වන්දනාවට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් දෙමින් රාජ්‍ය යාන්ත්‍රණයේ දායකත්වය සහ සහයෝගය ලබා දුන් බව මහනාහිමිවරු පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රජයත් රාජ්‍ය යාන්ත්‍රණයත් මෙහෙයවමින් ජනාධිපතිවරයාත් විෂයභාර අමාත්‍යවරයාත් ඇතුළු සියළු අංශ මෙම පුණ්‍ය කටයුත්ත සහයෝගය ලබා දුන් බවයි.

ආරක්ෂ අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පෞද්ගලික අංශය සෞඛ්‍ය කාර්ය මණ්ඩල ස්වේච්ඡා සංවිධාන මාධ්‍ය ඇතුළු මේ සඳහා සහය දුන් සියළු පාර්ෂව අගය කරන මහානාහිමිවරු පෙන්වා දෙන්නේ පැමිණි අති විශාල ජනතාවට දිවා රාත්‍රී නොබලා පහසුකම් සැපයීමට කටයුතු කළ මහනුවර දෙමළ, ඉස්ලාම්, කතෝලික ජනතාව ඇතුළු සියළු මහජනතාව වෙත ස්තූතිය පුද කරන බවයි.

එමෙන්ම දළදා වන්දනාවට පැමිණි දෙස් විදෙස් සැමට ආශිර්වාද කරන බවද මහානාහිමිවරු සිය නිවේදනයෙන් අවධාරණය කරයි.