සැකකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ සැකකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩදී අත්අඩංගුවට...

by Hashini De Mel 26-04-2025 | 6:48 AM

COLOMBO ( News 1st ) -  මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ සැකකරුවන් දෙදෙනකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකල විමර්ශනවලට අනුව මිනුවන්ගොඩ විජය මාවතේ වෙල්යාය අසලදී යතුරු පැදියක යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හා 35 හැවිරිදි මිනුවන්ගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.

වතුමුල්ල, ප්‍රදේශයේදී පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගත් ටී 56 ගිනි අවි දෙක, එම ස්ථානයට රැගෙන විත් ඇත්තේ එම සැකකරුවන් දෙදෙනා බවට සිදුකල වැඩිදුර විමර්ශනවලදි අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති බවයි.

පසුගිය 19 වැනිදා ගම්පහ, වතුමුල්ල ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂා කර, ටී 56 ගිනි අවි දෙකක්, එම පතුරම් 118 ක්, එම පතුරම් ගැබ් 03ක්, වෑන් රථයක්, කාර්යක්, ත්‍රිරෝද රථයක්, සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.