ගෙදරටම ඇවිල්ලා තියන්න හදපු වෙඩිල්ල...

by Staff writer 22-04-2025 | 8:13 PM

COLOMBO (News 1st) - කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අද (22) පෙරවරුවේ ව්‍යාර්ථ විය.

පොලීසිය ප්‍රකාශ කළේ, හීනටියන නීල් නැමති සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු විසින් එය මෙහෙයවා ඇතැයි සැකකරන බවයි.

අද උදෑසන 10 ට පමණ යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු ව්‍යාපාරිකයා හමුවට පැමිණ තිබුනේ මුදල් ගණුදෙනුවක් කිරීමට අවශ්‍ය බව පවසමිනි.

සැකකරුවන් නිවස තුළට පැමිණෙන්නේ ව්‍යාපාරිකයාගේ දැනුම්දීම මතයි.

එහිදී නිවසේ ස්වයංක්‍රීය පිවිසුම් දොරටුව වසා දැමීමට ව්‍යාපාරිකයා කටයුතු කර තිබේ.

නිවස තුළට පැමිණි තරුණයින් අතුරින් එක් අයෙකු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්සහා කර තිබිණි.

ව්‍යාපාරිකයා ඔවුන් සමග පොරබැදීමත් සමග නිවසින් පිටතට දුව ගිය වෙඩික්කරුවන් දෙදෙනාට පැනයාමට අපහසු වූයේ ගේට්ටුව වසා තිබීම හේතුවෙනි.

ඔවුන් දෙදෙනා නිවසේ තාප්පයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී එක් අයෙක් ඇද වැටී තුවාල ලබා ඇති අතර ගම්වාසීන් ඔහුව පොලිසියට බාරදී තිබේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඇදවැටීම හේතුවෙන් ඔහුගේ පාදයකට හානි සිදුව ඇති බවයි.

වෙඩි තැබීමට පැමිණි අනෙක් පුද්ගලයා පලාගොස් ඇත.

අංජන ජයවර්ධන නැමති මෙම ව්‍යාපාරිකයා වාහන ලියාපදිංචි සහතික ඇපයට තබාගෙන මුදල් පොලියට දීම සිදුකරන අයෙකි.

පොලිසිය පැවසුවේ, එම ව්‍යාපාරිකයා හා සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හීනටියන නීල් නැමැත්තා අතර මීට කලකට පෙර බහින් බස්වීමක් සිදුව තිබූ බවයි.

සැකකරුවන් රැගෙන ආ රිවෝලවරයක් හා පලාගිය පුද්ගලයා භාවිත කළ පිස්තෝලයේ පතොරම් ගැබ් දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4 ක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.