ජාතික ලොතරැයි මණ්ඩලයෙන් නිවේදනයක්

කොටු කැපීමේ සූදුවට අහුවෙන්න එපා..! ජාතික ලොතරැයි මණ්ඩලයෙන් නිවේදනයක්

by Staff writer 11-04-2025 | 10:26 PM

COLOMBO (News 1st)-

කොටු කැපීම නමැති සූදුවක් රටේ විවිධ ප්‍ර දේශවලශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි , ජාතික ලොතරැයි මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත්  කර තිබේ.

එහි දැක්වෙන්නේ, නීති විරෝධී ලෙස මුදල් එකතු කෙරෙන මෙම  ක්‍රියාමාර්ගයේ හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් නීති විරෝධී ලෙස කොටු කැපීම නමැති මෙම සූදුව ක්‍රියාත්මක කරන බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මෙම නීති විරෝධී සූදුවට මේ වන විට මහජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්,  මණ්ඩලය සිදු කරන වැටලීම් වලින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  දඬුවම් පනවා ඇති බවත්  මෙම නිවේදනයේ දැක්වෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට හඳුනාගෙන ඇති එවැනි නීති විරෝධී ලොතරැයි සූදු පොලවල් පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම පිණිස අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති බවද මෙහි සඳහන් ය.

නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මණ්ඩලය අලෙවි කරන ටිකට්පත් වලින් ලැබෙන ආදායමින් 20% ක පමණ මුදලක් ලොතරැයී අලෙවි ජාලයේ නියුතු බෙදාහරින්නන් ,නියෝජිතයින් සහ අලෙවිකරුවන්ට ලබාදෙන අතර එමගින් පවුල් 20,000 කට අධික ප්‍රමාණයක් ජිවනෝපාය සලසා ගන්නා බවයි.

ලොතරැයි අලෙවි ආදායමින් 50% කට වැඩි ප්‍රමාණයක් තෑගි සඳහා වෙන් වන අතර ඉතිරි මුදලින් රටේ පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මහා භාණ්ඩාගාරය වෙත මුදල් සපයන බවද ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

ඉතිරි මුදලින් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට බදු ආදායම ලබා දීම මෙන්ම, මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් සිදු කරන බවද මෙම නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව ලොතරැයියක් මිලදී ගන්නා ජනතාව රටේ සංවර්ධනයට සහ පුරවැසියන්ගේ ජීවනෝපායට විශාල දායකත්වයක් සපයන අතර ජාතික ලොතරැයි මණ්ඩලය පොදු මහජන අභිලාශය වෙනුවෙන් මෙම සේවාව ඉටු කරන බවද එහි දැක්වෙයි.

මණ්ඩලය පෙන්වා දෙන්නේ, කොටු කැපීමේ සූදුවේ නිරත පුද්ගලයින් එවැනි කිසිදු මහජන සේවාවක් ඉටු නොකරන බවයි.

ඔවුන්ගේ එකම ඉලක්කය  නීති විරෝධී ලෙස මහජන මුදල් එකතු කිරීම බැවින්, මෙහි හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.