Night Club පහරදීම: සැකකරුවන් 3ක් පොලීසියට භාරවෙයි

Night Club ගැටුම යෝෂිත සමග පැමිණි සැකකරුවන් තිදෙනෙක් පොලීසියට භාර වෙයි..

by Staff writer 26-03-2025 | 3:53 PM

COLOMBO (News1st) - කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදු වු පහරදීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා සමග පැමිණි බව කියන තිදෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, පසුගිය 20 වැනි දා යූනියන් පෙදෙස, පාක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබුණේ තවත් කිහිපදෙනෙකු ද සමගයි.

ඒ තුළට ඇතුළු වීමේදී හඳුනාගැනීමේ අත් පළඳනාව පැළඳීම, රාජපක්ෂ යුවළ ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීමත් සමග ඔවුන් සමග සිටි පිරිස එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් දින 05ක් පමණ සැඟව සිට අද(26) පොලීසියට භාරවි තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන මීට පෙර කොම්පඤ්ඤ වීදිය පොලීසිය සිදු කළ අතර මේ වනවිට එම විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය ඊයේ(25) ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.