යෝෂිත එක්ක Night Club ගිය 4 දෙනාට මොකද වුණේ?

යෝෂිත එක්ක Night Club ගිය 4 දෙනාට මොකද වුණේ?

by Staff writer 26-03-2025 | 11:51 PM

COLOMBO (News 1st) - කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ පහරදීම සම්බන්ධයෙන්, යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි බව කියන පුද්ගලයින් 04 දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ඔවුන් පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, පසුගිය 20 වැනිදා යූනියන් පෙදෙස, පාක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබුණේ තවත් කිහිපදෙනෙකු ද සමඟයි.

ඒ තුළට ඇතුලු වීමේදී හඳුනාගැනීමේ අත් පළඳනාව පැළඳීම, රාජපක්ෂ යුවල ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීමත් සමඟ, ඔවුන් සමග සිටි පිරිස එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.

එම සිද්ධිය පිළිබඳ විමර්ශන මීට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය සිදු කළ අතර මේ වන විට එම විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදී  තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගෙන් කොම්පඤ්ඤවිදිය පොලිසිය ඊයේ (25) ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.