ආරක්ෂාව සම්බන්ධ හිටපු ජනපති මහින්දගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි...

by Staff writer 19-03-2025 | 3:53 PM

COLOMBO (News 1st) - ආරක්ෂාව අඩු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළේ ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම  ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමය වර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලුවේ ය.

රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ, තිස් වසරක් පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට තම සේවා දායකයා නායකත්වය දුන් බවයි.

එම නිසා ඔහු කොටි සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් බවට පත්වී ඇතැයි, ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.

අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යයෙන් මෙන්ම යුරෝපා සංගමය රටවල් වල කොටි සංවිධානය ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක  වන අතර කොටි හිතවාදීන්ගේ බලපෑම් නිසා  තම සේවා දායකයා හා ඔහුගේ සහෝදරයින් යුධ අපරාධකරුවන්සේ සලකා ඔවුන්ට කැනඩාව තුළට ඇතුළුවීම වළක්වමින් එරට රජය විසින් නියෝගයක්ද නිකුත් කර ඇතැයි සබ්රි මහතා පැවසුවේ ය.

ආරක්ෂාව අඩු කිරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට නිලධාරීන් 203 දෙනෙකුගේ ආරක්ෂාව සපයා දී තිබූ බවත් එම ආරක්ෂාව ඉකුත් ඔක්තෝම්බර් මස 31 වන දා සිට  60 දෙනෙකු දක්වා අඩු කර ඇති බවත්, අද අධිකරණයේදී අනාවරණය විය.

නීතිපතිවරයා ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා මෙහිදී කියා සිටියේ පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව ඇගයීම් සිදු කිරීමේ විශේෂඥ කමිටුවක් විසින් බවයි.

එම විශේෂඥ කමිටුව ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ගෙන් සමන්විතවූ බවත් එම කමිටුව 2015 වසරේ සිට  අඛන්ඩව ක්‍රියාත්මක වූ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

ඔහු කියා සිටියේ 2020 වසරේ පෙත්සම්කරු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ අවස්ථාවේදී ද ඔහුගේ ආරක්ෂක ඇගයීම් සිදු කළේ මෙම කමිටුව විසින් බවයි.

ඒ තුළින් කිසිඳු පුද්ගලයෙකට විශේෂත්වයක් දැක්වීමට කටයුතු නොකෙරෙන අතර එක් පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බවට තින්දු කළේ ය.