Voice of America වසා දමන්න ට්‍රම්ප්ගෙන් අත්සන්

Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට ජනපති ට්‍රම්ප් අත්සන් තබයි..

by Staff writer 17-03-2025 | 6:24 AM

COLOMBO (News 1st) -

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ඒ, ට්‍රම්ප් විරෝධී රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින් ය.

දෙවැනි ලෝක යුද සමයේ 1942 වසරේදී වොයිස් ඔෆ් අමෙරිකා මාධ්‍ය ජාලය ආරම්භ වන්නේ, නාසි සහ ජපන් ප්‍රචාරණ වලට එරෙහි විකාශන ජාලයක් ලෙසයි.

BBC මාධ්‍ය ජාලයෙන් කුලී පදනම මත ලබාගත් සම්ප්‍රේෂණ උපාංග ඔස්සේ එහි විකාශය කටයුතු ආරම්භ විය.

මේ වනවිට ලොව පුරා භාෂා 48 කින් එහි විකාශන ජාලය ව්‍යාප්තව ඇත්තේ, ගුවන් විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් යන සියලු විද්‍යුත් මාධ්‍ය ජාලා ඔස්සේයී.

ඒ වටා දෛනිකව රොක්ව සිටින ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ප්‍රජාව, මිලියන 361 ඉක්මවයි.

Voice of America මාධ්‍ය ජාලය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ විධායක නියෝගයට 1976 වසරේදී අත්සන් තැබුවේ, එවක හිටපු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින් ය.

එතැන් සිට එය පාලනය වන්නේ, අමෙරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල් වලින් ට.

වාර්ෂික අය වැයෙන් ඒ සඳහා වෙන් කෙරෙන මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 267 කට අධිකයි.

ජනාධිපතිවරයා උපදේශකයෙකු වන එලෝන් මස්ක් Voice of America වසා දමන්නැයි සිය x ගිණුමෙන් පසුගියදා ඉල්ලීමක් ද කර තිබුණි.

ජනාධිපතිවරයා එය වසා දැමීමට තීරණය කිරීමත් සමග එහි සේවය කළ 1300 ක් පමණ වූ සේවක පිරිසට වැටුප් රහිත නිවාඩු දී තිබේ.

අමෙරිකාවේ පැරණිතම ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් එලෙස වසා දැමීමට තීරණය කිරීම හරහා ට්‍රම්ප් ආණ්ඩුවේ මාධ්‍ය මර්දනකාරී වැඩපිළිවෙළ මනාව පිළිබිඹු වන බව, විචාරකයින් ප්‍රකාශ කළේ ය.

ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ, එය මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ පහරක් බවයි.