ආපස්සට ගිය රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතිනවා

පසුගිය කාලයේ සිටි පාලකයින් නිවැරදි තීන්දු නොගැනීම නිසා ආපස්සට ගිය රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතිනවා - අධිකරණ ඇමති

by Staff writer 06-03-2025 | 12:10 PM

COLOMBO (News 1st) - පසුගිය කාලයේ සිටි පාලකයින් නිවැරදි තීන්දු නොගැනීම හේතුවෙන් ආපස්සට ගිය රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතින බව අධිකරණ සහ ජාතික එ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ(05) එක්වෙමිනි.

නව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරීමේ කටයුතු 2007 වසරේදී ආරම්භ කර තිබේ.

මේ වනවිට රැඳවියන් 2500ක් පමණ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අතර එම සංඛ්‍යාව රැඳවිය හැකි පිරිසට වඩා දෙගුණයක් පමණ වේ.

රැඳවියන්ට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට ද එය විශාල ගැටලුවක් වී ඇති අතර රැඳවියන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නව බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යතුමා විසින් අධිකරණ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්විය.