කැනඩාවෙන් දේශගුණික සුහුරු ව්‍යාපෘතියක් හඳුන්වාදෙයි

දේශගුණික වෙනස්වීම් හමුවේ කෘෂිකර්මාන්තය සිදු කරන ආකාරය ගැන ගොවි ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීමට කැනඩාවේ එකඟත්වය

by Staff writer 06-03-2025 | 6:35 AM

COLOMBO (News 1st) - දේශගුණික වෙනස්වීම් හමුවේ කෘෂිකර්මාන්තය සිදු කරන ආකාරය සහ එය කලමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ මෙරට ගොවි ජනතාවට අවශ්‍ය දැනුම සහ පුහුණු කිරීම් ලබාදීමට කැනඩාව එකඟතාව පළ කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වැල්ශ් මහතා සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර පැවති හමුවකදීයි.

මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කර ඇත්තේ, දේශගුණික සුහුරු ව්‍යාපෘති ද මෙරටට හඳුන්වාදීමට සූදානම් බවයි.

වර්තමානයේ මෙරට කෘෂිකාර්මික භූමි ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා බවත්, ඒ හේතුවෙන් නව තාක්ෂණය භාවිත කිරීම මෙන්ම නිෂ්පාදන ඵලදායීතාවය වැඩිකර ගනිමින් පිරිවැය අඩු කර ගැනීම‍ට නොහැකි වී ඇති බව ලාල් කාන්ත අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත.

අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත්තේ, පසුගිය ආණ්ඩු විසින් ගොවියාගේ ඉඩම් හිමිකම ලබා ගෙන පෞද්ගලික ආයතනවලට ලබාදී විශාල ආයතන බිහි කිරීමට අවශ්‍ය කටයුතු සැලසූ බවයි.

නමුත් ගොවිබිම්වල හිමිකම ඒ ආකාරයෙන්ම ගොවියාට හිමිව තිබියදී ගොවීන් එකතු වී ඔවුන්ගේම මහා පරිමාණ කෘෂිකාර්මික සමාගම් නිර්මාණය කිරීමට ඉඩ සැලසීම වත්මන් රජයේ සැලසුම බව අමාත්‍යවරයා පැවසීය.

මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, කැනඩාවේ ද කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඉතා විශාල සංවර්ධනයක් ළඟා කර ගත්තේ කුඩා ගොවීන් එකතු කර සමුපකාර මට්ටමින් සාදා ගන්නා ලද ගොවි සමාගම් හරහා බවයි.

මෙරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල කෘෂිකර්ම සංවර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ආයෝජනය කිරීමට කැනඩාව බලාපොරොත්තු වන බව ද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.