පොලිස් පරීක්ෂක උපුල් කුමාරට වරෙන්තු

වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

by Staff writer 04-03-2025 | 7:17 AM

COLOMBO (News 1st) - වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ උපාලි රණසිංහ මහතා වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි පසුගිය සිකුරාදා වරෙන්තු නිකුත් කෙරුණි.

චෝදනා ගොනුකර ඇත්තේ, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙනි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේ ය.