අණ නොතකා ධාවනය කළ ලොරියකට වෙඩි...

අණ නොතකා ධාවනය කළ ලොරියකට පොලීසියෙන් වෙඩි...

by Staff writer 02-03-2025 | 2:37 PM

COLOMBO (News 1st) -

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරියකට පොලීසිය වෙඩි තබා තිබේ.

එම ලොරියෙන් ගංජා ප්‍රවාහනය කරන බවට ලද බුද්ධි තොරතුරකට අනුව පොලීසිය මග හරස් කර එය නතර කරන්නැයි අණ කර තිබුණි.

එහෙත් එය අණ නොතකා ධාවනය කර තිබේ.

එම අවස්ථාවේ නිලධාරීන් එය ලුහුබැඳ ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අනතුරුව එම නිලධාරීන් පැමිණෙන මග හරස් කරමින් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් මාර්ගයට වැලි දමා තිබුණි.

පොලිස් නිලධාරීන් ලොරිය ඉලක්ක කර වෙඩි තබා තිබුණේ, එම අවස්ථාවේදී ය.

රියැදුරු සහ රිය සහයක ලෙස කටයුතු කළ දෙදෙනෙක් රථයෙන් බැස පළාගොස් තිබේ.

පසුව රිය සහයක රෝහල් ගතවී තිබුණේ, වෙඩි වැදුණු බව පවසමින් ය.

සැකකරු දැනට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

පළාගිය රියැදුරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පොලිසිය පැවසුවේ, ලොරියේ තිබී ගංජා තොගයක් ද සිය භාරයට ගත් බවයි.