හිටපු ජනපතිවරු ගිය රට ගමන්

හිටපු ජනපතිවරු ගිය රට ගමන්- අවුරුදු 4කට මහින්දට බිලියන තුන හමාරයි..

by Staff writer 27-02-2025 | 9:18 PM


අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය මහජන මුදල් අවභාවිත වූ අවස්ථා ගණනාවක් අනාවරණය කළේ ය.

අද සිට පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙයි.

අද විවාදයට ගැනුණේ , විශේෂ වියදම් ඒකක 25 කට අදාළ වැය ශීර්ෂයි.

ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩල කාර්යාල, කොමිෂන් සභා, උපරිමාධිකරණ විනිසුරුවරුන් හා පාර්ලිමේන්තුව ඇතුළු වියදම් ඒකක ඊට ඇතුළත් ය.

අද විවාදය ආරම්භයේදී හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් ගමන් වියදම් පිළිබදව අග්‍රාමාත්‍යවරිය අනාවරණයක් කළා ය.

6 වැනි විධායක ජනාධිපති 
මහින්ද රාජපක්ෂ - 2010 - 2014  කාලය තුළ වැය කර ඇති මුදල රුපියල් මිලියන 3572 කි.

2013 වසරේ පමණක් වියදම රුපියල් මිලියන 1144 ක්.

මෛත්‍රීපාල සිරිසේන - 2015 - 2019  කාලය තුළ විදේශ ගමන් වියදම රුපියල් මිලියන 384 ක්.

ගෝඨාභය රාජපක්ෂ - 2020 - 2022  රුපියල් මිලියන 126 ක්.

රනිල් වික්‍රමසිංහ 2023- 2024 විදෙස් ගමන් වියදම රුපියල් මිලියන 533 ක්.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක -   2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා  රුපියල් මිලියන 1. 8 ක්.


ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය  

''2010 වර්ෂයේ සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි.එය රුපියල් මිලියන 1144 ක්. කොහොමද මේ මෙච්චර වියදමක් ගියේ? ඇයි මෙච්චර වියදමක් ගියේ? එකම රටකට තමයි සමහර වෙලාවට ගිහිල්ලා තියෙන්නේ. හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ සංචාර තිස්තුනක් ගිහිල්ලා තියෙනවා.ඒ සංචාර තිස්තුනට සහභාගී වෙලා තියෙනවා පුද්ගලයන් 154 ක්. අපේ ජනාධිපති සංචාර තුනක් ගිහිල්ලා තියෙනවා.ඒකට සහභාගී වෙලා තියෙන පිරිස එකොළහයි.නැවත වතාවක් මම කියන්නේ ජනාධිපති කෙනෙක් විදේශ සංචාරවලට යනකොට අදාල පුද්ගලයන් යා යුතුයි. ඒක ගැන කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ. අදාළ අයද ගිහිල්ලා තියෙන්නේ කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් හැටියට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා යනකොට ඔහු මන්ත්‍රීවරුන් ගෙනිච්චා විපක්ෂයෙනුත්, ඒවා අල්ලස් හැටියට දෙන්න. මේ ලැයිස්තුව ගිහිල්ලා තියෙනවා එක ට්‍රිප් එකක් සංචාරයක් (එක්සත් රාජධානියටදෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යයට) යුනයිටඩ් කින්ඩම් ටු 
ඇ⁣ටෙන්ඩට් ස්ටේට් ෆියුනරල්  ඔෆ් ඒ ලේට් මැජේස්ටික් කුයින්  එලිසබෙත් ටු. එතකොට යන්නේ ෆියුනරල් එකක⁣ටනේ.දහ දෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඔහුත් සමග මේ ෆියුනරල් එකට. (ජපානයේ හිටපු අගමැතිවරයාගේ රාජ්‍ය අවමගුල් උත්සවය ) ස්ටේට් ෆියුනරල් ඔෆ් ෆොමර් ෆොමර් ප්‍රයි මිනිස්ටර් ජැපෑන්. දහ අට දෙනෙක් ගිහිල්ලා තියෙනවා.(චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට 2023 එක්සත් රාජධානියට යනවා 12 දෙනෙක්. ඉන්දීය නිල සංචාරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග 23 දෙනෙක්.අපේ ජනාධිපතිතුමත් ඉන්දියාවය ගියා හැබැයි ගියේ 5 දෙනයි.ඔහු ඒ වැඩ කොටසම කලේ නැද්ද? ඔහු ඒ මට්ටමේම සාකච්ඡාවලට සහභාගිවුනේ නැද්ද? ඉන්දීය රජය සමග ඉතා වැදගත් සාකච්ඡා සිදුවුනා.නමුත් බලන්න වෙනස) ඉතින් එතන ඒකෙන් පෙන්නුම් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වරප්‍රසාද සහ මේ තනතුර එක තියෙන ඒ වරප්‍රසාද තමයි ඒවා වරප්‍රසාද සහ තනතුරට දෙන තනතුර හරියට ක්‍රියාත්මක කිරීම සඳහා දෙන සහය අවභාවිතා වෙලා තියෙන මේ විදිහ.අපි මේ දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනකොට ඒක වෙනසක් ගැන කතා කරනකොට මෙන්න මම මේ එක කාරණයක් පමණයි කතා කළේ.ඒ කාරණය තුළින් ජනතා මුදල් මේ සංස්කෘතිය තුළ අවභාවිතා කරමින් තමන්ගේ වරප්‍රසාද අයිතියක් හැටියට කිසිම ගානක් නැතිව වියදම් උණ විදිහයි විදිහයි විදිහයි ඒ සංස්කෘතිය වෙනස් වුණා.''