වියලි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

වියලි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

by Staff writer 26-02-2025 | 6:39 AM

COLOMBO (News 1st) - වියලි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා මතුව තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේන මහතා පැවසුවේ, මේ හේතුවෙන් රත්මලාන, පිළියන්දල, මොරටුව, පානදුර ආදී ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.

වියලි කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේන මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි. 

මේ අතර වියලි කාලගුණයත් සමග විදුලි නිෂ්පාදන පිරිවැයද ඉහළ ගොස් තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලසේන මහතා සඳහන් කළේ, ඒ අනුව තාප බලාගාර හා දැවිතෙල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.

නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය මෙගාවොට් 900ක උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව කැලණිතිස්ස නැප්තා බලාගාරය හා සපුගස්කන්ද දැවි තෙල් බලාගාරය ද  මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසුවේ ය.

ජල විදුලි බලාගාර දිවා කාලයේ සමස්ත විදුලි ජනනයෙන් 20% ක් ලෙසත් රාත්‍රී කාලයේ 40% ත් ලෙසත් මේ දිනවල ක්‍රියාත්මකයි.

විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ, සූර්ය බලාගාරවලින් දිවා කාලයේ විදුලි ජනනයට වැඩි අවස්ථාවක් පවතින බවයි.

එළඹෙන අප්‍රේල් මාසය දක්වා මෙම තත්ත්වය පවතිත බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.