පිරිසිදු වතුර බිඳක් වෙනුවෙන් සැබෑ කළ සිහිනය...

by Staff writer 22-02-2025 | 11:00 PM

COLOMBO (News 1st) - නිකවැරටිය, දිගන්නෑව ගම්මානයේ ඉදිකළ ප්‍රතිඅශ්‍රැති ජල පෙරණ පද්ධතිය අද(22) ජනතා අයිතියට පත් කෙරුණි.

ඒ, ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසයි.

කුරුණෑගල දිගන්නෑව ජනතාව අද මේ විදිහට සතුටු වුණේ බොන්න පිරිසිදු වතුර ලැබුණ නිසාවෙන්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කොටවෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට පිහිටි දිගන්නෑව ගම්මානයේ බොහෝ දෙනෙක් ගොවීන්.

පිරිසිදු පානීය ජලය නොමැතිකම මේ ගමට බොහෝ කලක පටන් තිබුණු ලොකු ගැටලුවකි.

ගම්මැද්ද අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් එක්ක ගෙයින් ගෙට යන ගමනෙදී තමා මේ ගමට යන්නි.

ගම්වාසීන් අපිට කිව්වේ ගමේ බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන්.

මේ ප්‍රශ්නය හඳුනාගත්ත ගම්මැද්ද කණ්ඩායම ප්‍රතිආශ්‍රිත ජල පෙරණ පද්ධතියක් ඉදි කිරීමට මුල් ගල තිබුවේ ය..

අද ඔවුන්ගේ සිහිනය සැබෑ වුණ දවසකි.

ගම්මැද්ද සමරු පලකය නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ අලෙවි රොෂාන් වටවල නිව්ස්ෆස්ට් ප්‍රාදේශිය ප්‍රවෘත්ති සංස්කාරක මනෝජ් බුද්ධික සහ මුල්‍ය දායකත්වය ලබා දුන් ජයතිස්ස බණ්ඩාරගොඩ මහතා අතින් නිරාවරණය කෙරුණි.  

නාවික හමුදා සමරු පලකය නිරාවරනය කෙරුණේ, කොටවෙහෙර පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පාලිත හේරත් යන මහත්වරුන් අතිනි.

ආගමික වතාවත් මධ්‍යයේ දිගන්නෑවේ ගම්මුන්ට අස්වැසිල්ලක් පානීය ජල ව්‍යාපෘතිය අද සුබ මොහොතින් ජනතා අයිතියට පත් කෙරුණි.

ව්‍යාපෘතියට දායකත්වය ලබා දුන්නේ ජයතිස්ස සහ ජයන්ති බණ්ඩාරගොඩ පදනමයි.

ව්‍යාපෘතිය ඉදිකිරීමට තාක්ෂණික සහයෝගය ලබා දුන්නේ ශ්‍රී නාවික හමුදාව.

ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් කොටවෙහෙර සහකාර ප්‍රදේශීය ලේකම් අයේෂා ප්‍රසාදි මහත්මිය අදහස් පළ කළාය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පාලිත හේරත්, නිව්ස්ෆස්ට් කොටවෙහෙර පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර, යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගම්මැද්ද සාමාජිකයන් සහ ගම්වාසීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනතාව වෙනුවෙන් ගම්මැද්ද නොනැවති ඉදිරියට.