යෝෂිතට සහ ඩේසි ෆොරස්ට් නඩු

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව නඩු

by Staff writer 14-02-2025 | 3:07 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ.

ඒ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේයි.

චෝදනා ගොනු කෙරුණේ, රුපියල් ලක්ෂ 500 කට අධික මුදලකට, රත්මලාන සිරිමල් උයනේ සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් ඇතුළු දේපොළ මිලදී ගැනීම සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පසුගිය ජනවාරි 25 වැනි දා සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ ය.

ඒ, සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි පර්චස් 34.5 ක ඉඩමක් රුපියල් ලක්ෂ 360කට අධික මුදලක් යොදවා මිලදී ගැනීමේ සිද්ධියට අදාළවයි.

එදින පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ මහතා ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඔහු ඇප මත මුදා හැරුණේ, ජනවාරි 27 වැනි දායි.