![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) -
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියැදුරු පැහැර ගැනීම සම්බන්ධයෙන් සහ වික්‍රමතුංග මහතා ගමන් කළ රථයේ තිබූ ලේඛනයක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් සාරාංශගත වාර්තාවක් පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ වාර්තාව අධ්‍යනය කරන තුරු පසුගිය 27 වැනිදා පුද්ගලයින් තුන්දෙනෙකු නිදහස් කරමින් යොමු කළ ලිපියේ උපදෙස් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි දැනුම් දුන් බවයි.
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ නඩුවකට අදාළ පුද්ගලයින් තුන්දෙනෙකු නිදහස් කරමින් යොමු කළ ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති අතර, එය හෙට දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දීමට නියමිත බවද නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ ප්‍රකාශ කළේ, පසුගියදා අදාළ නඩුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳ වූ බවට පලවන වාර්තා අසත්‍යය බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශන කරුණු ඇත්නම් ඒ බව වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දී තිබූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ, එම නිදහස් කිරීම් නව සාක්ෂි හෙළිදරව්වක් මත අපරාධ චෝදනා ගොනුකිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඇන්ජලෝ වැන්හොෆ් මහතාගේ අත්සනින් මේ නිවේදනය නිකුත්කර තිබුණි.
ප්‍රේම් ආනන්ද උදලාගම නමැත්තා නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට නිර්දේශ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියැදුරු පැහැර ගෙනයාම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළවයි.
ඔහු හදුනාගැනීම සම්බන්ධයෙන් උද්ගතවූ නෛතික දුර්වලතා හේතුවෙන් අපරාධ චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා නිදහස් කිරීමට තීරණය කළ බව නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් විය.
එම නිවේදනයේ වැඩිදුටරත් දක්වා තිබුණේ, වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොන් තිස්සසිරි සුගතපාල හා සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන දෙදෙනාද චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කළ බවයි.