News 1st සහෘදයා අනුරුද්ධ රත්නායක ඔබට සුබ ගමන්!

ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කැපවූ News 1st සහෘදයා අනුරුද්ධ රත්නායක ඔබට සුබ ගමන්!

by Staff writer 10-02-2025 | 9:38 PM

COLOMBO (News 1st) - නිවුස්ෆස්ට් මාධ්‍යවේදී, අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්නායක මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණ.

ඒ, තඹුත්තේගම පොතියගම පොදු සුසාන භූමියේදී ය.

රජරටින් කොළොම්තොටට පිවිස ගුවන් විදුලියේ මහගෙදරින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අනුරුද්ධ රත්නායක තමා සමග එක්ව කටයුතු කළ සියල්ලන්ගේ ආදරය දිනා සිටියේ ය.

2006 සිට සිරස මාධ්‍ය ජාලයේ සේවය කළ ඔහු ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු,සංස්කාරකවරයෙකු ලෙස සිය රාජකාරිය මැනවින් 
ඉටු කළ විශිෂ්ට මාධ්‍යවේදියෙකි .

සිනාමුසු මුහුණින් යුතුව,  තමාට ලැබෙන කණ්ඩායම සමග නිසි ඉලක්කය වෙත ගිය අනුරුද්ධ ඒ සියල්ලන්ට අමතක කළ නොහැකි චරිතයක් බවට පත්ව සිටියේ ය.

සියල්ලන් කම්පාවට පත් කරමින් හදිසියේ ඔහු අභාවප්‍රාප්ත වූ අතර ,  දේහය කොළඹින් රැගෙන විත් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ, ඔහුගේ උපන් ගම වන අනුරාධපුර, තඹුත්තේගම පිහිටි  නිවසේය .

තම දයාබරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් උදෑසන සිටම ඥාතීන්, හිතවතුන් මිතුරන්, ඇතුළු විවිධ පාර්ශ්ව පැමිණියේ ය .

ආගමික වතාවත් වලින් පසු දේහය තඹුත්තේගම, පොතියගම සුසාන භූමිය වෙත රැගෙන ගියේ සියල්ලන්ගේ සෝ සුසුම් මධ්‍යයේ ය.

තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය වෙනුවෙන් කැපවීමෙන් පෙනී සිටි, 
ඇසුරු කළ සියල්ලන්ගේ මතකයෙන් බැහැර නොයන, අපේ කාලයේ වටිනා මිනිසෙකු මෙලෙස දැයෙන් සමුගත්තේ ය .

ඔහු නිවනින් නිවේවා යන්න සැමගේ ප්‍රාර්ථනයයි.

අනුරුද්ධ, ඔබට සුබ ගමන් !